රෝහල් පද්ධතිය අඩාලවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය කියයි , නිමල් කොළඹිස්ස – මහනුවර

ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පැවතුණ ද  රෝහල් පද්ධතිය අඩාලවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට කළ දැනුම් දීම අනුව සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදනයක් හිමිවී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ ජාත්‍යන්තර මුඛ සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත පීඨයේදී අද (30) පැවැති සැමරුම් උත්සවයට සහභාගීවෙමිනි.

ඉන්දියානු ණය පහසුකමින් සියයට අසූවක මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කොට ඇතැයි කී අමාත්‍යවරයා, ඒ අනුව රුපියල් මිලියන අසූවක මුදලක් හිමිවී ඇතැයි කීවේය.

දැනටමත් සායනික හා ශෛල්‍යාගාර ප්‍රතිකාර කටයුතු ආරම්භ කොට ඇතැයි ද ඇතැම් රෝහල්වල පවතින යම් ප්‍රමාදය ඉදිරි දින කිහිපය තුළදී මඟ හැරෙනු ඇතැයි ද සඳහන් කළේය.

රෝහල්වල කටයුතු අඩපණවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලා වල පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විශේෂත්වයක් තමා නොදකින බවත් එම සිදුවීම පැය කිහිපයකින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුන් තිලකරත්න, දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල ආටිගල, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ති පින්තූ, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මහීල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *