පැරෂූටය අක්‍රීය වීමෙන් දෙල්තොටදී රුසියානු ජාතිකයෙකුට වූ දේ

දෙල්තොට ලූල්කඳුර වත්ත ඉහළ කොටසේ පිහිටා ඇති කොණ්ඩගල කන්දේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට එමින් සිටි රුසියානු ජාතිකයකුගේ පැරෂුටය ගුවනේදී හදිසියේම ක්‍රියා විරහිතවී කඩා වැටීමෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඊයේ (12) ඇතුළත් කොට තිබේ.
රුසියානු ජාතිකයා ඊයේ (12) පස්වරුවේ කෝණ්ඩගල කන්ද තරණය කර ඇත.එහි කඳු ගැටයක සිට මොහු පැරෂුටයක් ආධාරයෙන් පහළට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
පැරෂූටය අක්‍රීය වීමෙන් පසු රුසියානු ජාතිකයා වේගයෙන් පහළට පැමිණ ගසක අත්තක ගැටී එම අත්තද සමඟ පහළට ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී ගිලන් රථයක් ගෙන්වා විදේශිකයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ.