සහන මල්ලක්ද විපත් මල්ලක්ද , අනුර කුමාර අසයි – මහනුවර වාර්තාකරු

වැටුප් වැඩි කිරීම ඇතුළු අනෙකුත් සහන ලබා දීමට මුදල් සොයා ගනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධව මුදල් ඇමැතිවරයා රටට හෙළි කළ යුතු බවත් මෙය සහන මල්ලක්ද නැත්නම් විපත් මල්ලක්ද යන්න තීරණය වන්නේ ඒ මත බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.පසුගිය දෙසැම්බර් මාසයේ 10 වැන්න තමයි අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කළේ .මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය දහවෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරලා අනුමැතියක් ගත්තා.ඒ සම්මත කරන වෙලාවේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පැවසුවා අපි මරණ තුනක් වැනි අර්බුදයක ඉන්න කියලා. එවැනි තත්ත්වයක් රටේ තිබේ දී තමයි ආණ්ඩුව සහන මල්ලක් දෙන්න කටයුතු කරලා තියෙන්නේ.අපි මුදල් ඇමති වරයාගෙන් දැනගන්න කැමතියි මේ වැටුප් වැඩිකිරීම සහ අනිකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියලා.පාර්ලිමේන්තුවට එක දැන ගැනීමේ අයිතියක් තිබෙනවා.ගැටලුව තිබෙන්නේ සහන ලබාදීම පිළිබඳව නොව ඒ සඳහා මුදල් සොයා සොයාගන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙනුයි.මේ වන රජය විට විශාල මුදල් තොගයක් අච්චු ගසා තිබෙනවා.ඒ මුදල් තොග අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් විදිහට දෛනිකව භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා.

මේ සහන ලබා දීමට නැවත නැවත මුදල් අච්චු ගැසීමේ ක්‍රියාමාර්ගයකට නම් යන්නේ එමගින් සිදු වන්නේ තවත් අර්බුද ගණනාවක් නිර්මාණය වීම පමණයි.ඒ නිසා මේ ආදායම උපයා ගන්නේ කෙසේද කියන කාරණය මත තමයි මේක සහන මල්ලක් වෙනවද නැත්නම් රටට විපත්තිදායක මල්ලක් වෙනවද කියන එක තීරණය වෙන්නේ.අපේ රටේ විශාල අර්බුද ගණනාවක් මතු වී තිබෙනවා. මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි.ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය විදිහට අපි වැඩපිළිවෙළක් ගොඩනගලා තිබෙනවා.

ආර්ථික අර්බුදයට හේතුව යුද්ධය කියලා දශක ගණනාවක් අපට කිව්වා. ඊට පස්සේ දැන් කියනවා මේ ආර්ථික අර්බුදයට මුළුමනින්ම හේතුව කොරෝනා කියලා.ඒක වැරදියි.කොරෝනා පටන් ගන්න කොටත් අපේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක තිබුණේ .මේ අපි හිර වෙලා ඉන්න ණය එකක්වත් කොරෝනා කාලයේ ගත්ත ඒවා නොවෙයි .ජනවාරි මාසේ ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500 ක මුදල අරගෙන තියෙන්නේ 2013දීයි .ජුනි මාසේ ගෙවන්න තිබෙන ඩොලර් මිලියන 1000 ක මුදල අරගෙන තියෙන්නෙත් එම වසරේදීමයි.මේ ණය අර්බුදයට හේතුව කොරෝනා නොවෙයි. මෙතෙක් කල් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිවල වැරදි තමයි මේකට හේතුව. ආණ්ඩුව හැම වෙලාවෙම ආර්ථිකය මෙහෙයවීමේදී දක්වන අසමත් බව වසා ගැනීම සඳහා එක එක කරුණු ඉදිරිපත් කරනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අනුගමනය කරන තිබෙන දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ රට අගාධයකට ඇදී ගියා. මේ විනාශකාරී දේශපාලනික හා ආර්ථික ගමන නතර කිරීම සඳහා එකතුවෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා.අපි ආණ්ඩුවක් හදන්න උත්සහ කරන්නේ මේ රට ගොඩ ගැනීමටයි.

දැන්වීමකි

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *