අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය පල්ලකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී -නදීක දයා බණ්ඩාර – මහනුවර

සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමේදී නවක උපාධිධාරීන්ගේ සෘජු සහයෝගය අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

සාර්ථක මහජන මෙහෙවරක් ඉටු කිරීමට නම් එම ප්‍රතිපත්තිය පරිශීලනය කළ යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය.

අභ්‍යාසලාභී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ මධ්‍යම පළාත් උත්සවය අද (01) පස්වරුවේ මධ්‍යම පළාත් සභා සංකීර්ණයේදී පැවැත්විණි.

වසරක පුහුණුව නිම කළ උපාධිධාරීන් 4600 දෙනෙකු මධ්‍යම පළාතට එක්වන අතර සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබන එම පිරිසෙන් 2600ක් පාසල් සඳහා අනුයුක්ත කොට තිබේ. පත්වීම් ප්‍රදානය සංකේතාත්මක කරමින් මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් නියෝජනය කරමින් 250 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ස්ථිර පත්වීම් ලැබූ උපාධිධාරීන් හමුවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, සංවර්ධනය කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල යටතේ මහජනතාව මෙන්ම මහජන නියෝජිතයන් හා නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම අවශ්‍ය යැයි අවධාරණය කළේය.

සංවර්ධනය කරා රට ගමන් කරමින් සිටින අවස්ථාවක එම ඉලක්කය කරා යොමුවීමේ සෘජු හැකියාවක් උපාධිධාරීන් සතු යැයි ඒ මහතා කීවේය.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ලබා දෙන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි කී ඒ මහතා මෙරට නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සාරධර්ම සපිරි සමාජයක් බිහිකිරීම යැයි ද ප්‍රකාශ කළේය.

එම සාරධර්ම නොලබන ඇතැම් පිරිස් මුදල් වංචා ආදියට මැදිහත්වන බවත් මධ්‍යම පළාතේ මේ වන විට එවැනි සිදුවීම් වාර්තා වී ඇතැයි ද ඒ මහතා කීහ.

අද පත්වීම් ලබන නිලධාරීන් එම සමාජය නිර්මාණය කිරීමට දායක විය යුතු යැයි ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.


 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *