හක්කිඳ දූපත්  ආරක්ෂා කරන්න උපදෙස්  – නදීක දයා බණ්ඩාර මහනුවර

 හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිත අනවසර අල්ලා  ගැනීම් ඇතුලු මිනිස් ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අදාල රජයේ ආයතන විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාකළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

පරිසරය රැක ගැනීම සඳහා අදාල ආයතන වඩාත් කාර්යක්ෂම විය යුතු බවත් අනවසර ඉදිකිරීම් පිළිබදව දැඩි විමසිලිමත් වන බව ද  ඒ මහතා පෙන්වා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද  (02) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පරිසර සංවේදී කලාපයක් වන මහවැලි ගංගාවේ වරාතැන්න ප්‍රදේශයේ පිහිටි හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිතව අනවසර ඉදිකිරීම්, ගස් කැපීම්, පස් ගොඩකර ගංගා කලාපය අත්පත් කර ගැනීම, කැළි කසළ බැහැර කිරීම ඇතුලු අක්‍රමවත් ක්‍රියාකාරකම් රැසක් අඛණ්ඩව දැකිය හැකි යැයි කී කමිටු සභාපතිවරයා, මෙම ක්‍රියා වැළැක්වීමට අදාල ආයතන වහා ඉදිරිපත් විය යුතු යැයි පෙන්වා දුන්නේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ස්ථානයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකට එක්ව අනවසර ඉදිකිරීම් සඳහා නඩු පැවරීම හා  එම ඉදිකිරීම් පවර ගැනීම කළ යුතු යැයි උපදෙස් ලබා දුන් බව කී කමිටු සභාපතිවරයා, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අදාළ ආයතන මේ වන විටත් ක්‍රියාත්මක විය යුතු යැයි අවධාරණය කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහනුවර මහ නගර සභාව සහ පොලීසිය ඇතුලු ආයතන සිය බලතල භාවිතා කොට මෙම කලාපය රැක ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතා වැඩිදුරටත් අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සූම් තාක්ෂණය ඔස්සේ ද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා සහ ගුණතිලක රාජපක්ෂ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *