සංහිඳියාව,සහජීවනය ගැන ඛේදනීය කතාවක්! නිදහසේ ජීවත්වීමට නොහැකි නිසා ජාතිය වෙනස්කර සිංහල වීමට වෙර දරන මිනිස්සු. — රොෂාන් ගුණසේකර

සාමය,සංහිඳියාව,සහජීවනය පසුගිය වකවානුව තුළ විශාල වියදමක් දරමින් ශ්‍රී ලාංකේය පොළොවේ පැළකරන්නට වෙර දැරූ සංකල්ප කිහිපයකි.රාජ්‍යයට ඒ වෙනුවෙන් එතරම් වෙහෙසක් දරන්නට සිදුවූයේ  සංහිඳියාව,සහජීවනය වැනි කරුණු පිළිබඳව ඇතැම් රටවැසියන් තුළ පවත්නා ආකල්ප ඉතාම පසුගාමී තත්ත්වයක පැවැතීම නිසාය.එසේම සංහිඳියාව,සහජීවනය වෙනුවෙන් කෙතරම් විශාල වියදමක් දරන්න සිදුවුවද එමගින්  රටකට අත්කර ගතහැකි ප්‍රතිඵල මුදලින් මැනිය නොහැකි තරම් වටිනා නිසාය.

එහෙත්, රාජ්‍යයේ විශේෂ සහයකින් තොරවම සමහර පුරවැසියන් සංහිඳියාව,සහජීවනය  සිය ජීවන දර්ශනයක් බවට පත්කර ගැනීමට යත්න දරන විට රාජ්‍යයේ සමහර නීතිරීති සහ ඇතැම් යාන්ත්‍රණ පමණක් නොව සංහිඳියාවට ආශිර්වාද කළයුතු ආගමික සහ සංස්කෘතික සංස්ථාද එම පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මකවන අවස්ථා දක්නට ලැබේ.වසර 23ක් තිස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මහඅලුත්ගම්ආර සිංහල බෞද්ධ ගම්මානයක ජීවත් වන අපූරු මුස්ලිම් පවුලක ප්‍රධානියා වන පක්කීර් මොහොමඩ් සියාෂිදීන් කියන මේ කතාව ඇසුරින් මතුකෙරෙන ගැටලු සාමය,සංහිඳියාවට පෙම්බඳින පුරවැසි සමාජයකට පහසුවෙන් නොතකා හැරිය හැකිද?

පනස් තුන් වියැති  පක්කීර් මොහොමඩ් සියාෂිදීන් මහඅලුත්ගම්ආර ගම්මානයටම සිටින එකම මුස්ලිම් පවුලේ ප්‍රධානියාය. සියාෂිදීන්ගේ  බිරිඳ  එදිරිසිංහ ආරච්චිගේ මාලනීය.   ඇය සිංහල බෞද්ධ කාන්තාවකි.

සියාෂිදීන් සහ මාලනීට ලොකු මහත්වූ දරුවන් දෙදෙනෙකි.වැඩිමලා මොහොමඩ් නිෂාම් වයස අවුරුදු 30ක එක් දරු පියෙකි.දෙවැන්නා මොහොමඩ් නිපුන් සාගර අවුරුදු 22 ක විවාහක තරුණයෙකි.පුතුන් දෙදෙනාගේම භාර්යාවෝ ද සිංහල බෞද්ධ කාන්තාවෝය.

මොහොමඩ් සියාෂිදීන්, එදිරිසිංහ ආරච්චිගේ මාලනී සමඟ යුග දිවියට එළඹ ඇත්තේ මිට වසර 31කට ඉහතදීය. සියාෂිදීන්ගේ මුල් ගම හම්බන්තොට, සීප්පුකුලමය.ඔහු  කලක් සිය දෙමාපියන් සමඟ බඳගිරිය ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර මාලනී සමඟ විවාහ වීමෙන් අනතුරුව 1998 වර්ෂයේදී ලුණුගම්වෙහෙර මහඅලුත්ගම්ආරට පැමිණ තිබේ.  පසුගිය වසර 23ක් තිස්සේ ඔවුහු අලුත්ගම්ආර ගම්මානයේ පදිංචිකරුවෝය.ගම්මානයේ නිකම්ම නිකම් ජීවත්වන්නන් නොව අසල්වාසීන්ගේ මරණගෙට,දානෙගෙට,මඟුලට සහභාගී වෙමින් සියලුදෙනා සමඟ සහජීවනයෙන් ජීවත්වන ගම්වැසියෝය.

මහඅලුත්ගම්ආර ගම්වැසියන් සියාෂිදීන්ගේ පවුල ‘තමන්ගේ’ කරගත්තද බෞද්ධ කාන්තාවක් විවාහ කර ගැනීම හේතු කොට ගෙන සිය ආගමික සංස්ථාව සියාෂිදීන්ලාට එරෙහිවී  තිබේ. ඉස්ලාම් ආගමික නීතියට අනුව සියාෂිදීන්ට පල්ලිය තහනම් විය. විවාහය නිසා සියාෂිදීන්ට හෝ බිරිඳට  කිසි දිනෙක පල්ලියට යෑමට අවසර නොමැත. සියාෂිදීන්ලාට පමණක් නොව උපතින් ඉස්ලාම් භක්තිකයන් වූ ඔහුගේ දරුවන් දෙදෙනාටද ඒ තහංචිය බලපෑවේය. ඔවුන් ජීවිත කාලය පුරාවටම මෙතෙක් පල්ලියක යාච්ඤා මෙහෙයකට  හෝ පල්ලියක් තුළ සිදුවන වෙනත් කිසිඳු ආගමික කටයුත්තකට සම්බන්ධ වී නැත.

“මම මුස්ලිම් භක්තිකයෙක්.මම අපේ නෝනව බැන්ඳට පස්සේ පල්ලියෙන් මට කිවුවා නෝනව අපේ ආගමට හරවන්න කියලා. ඒත් අපේ ගෙදර මනුස්සයා ඒකට කැමති වුණෙ නෑ.මට ඕන උනෙත් නෑ එයාගෙ අකමැත්තෙන් එයා අපේ ආගමට හරවන්න.ඊට පස්සෙ පල්ලියේන් මට කිවුවා ඔයත් පල්ලියට එන්න එපා කියල”

ආගමික සංස්ථාව සංහිඳියාව, සහජීවනයට උදව් නොකරන විට, ඒ නිසා පවුල් සංස්ථාව තුළ අවුලක් ඇතිකරගන්නට සියාෂිදීන්ට අවශ්‍ය වුණේ නැත.

“අන්තිමට මමත් නෝනත් එක්ක පන්සලට යන්න පුරුදු වුණා.අපිව අපේම ආගමෙන් අයින් කළාම දරුවො දෙන්නත් පන්සලට හුරු වුණා.”

මේ වනවිට සියාෂිදීන් පවුල ප්‍රදේශයේ විහාරස්ථාන දෙකකට සහ ආරණ්‍ය සේනාසනයකට මාස් පතා දානය පිරිනමන ප්‍රධාන පෙළේ දායක පවුලකි. සියාෂිදීන්ගේ බාල පුතු මොහොමඩ් නිපුන් සාගර ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කර ඇත.

සියාෂිදීන් සහ මාලනී දෙදෙනාගේම ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය.ඊට අමතරව කුඩා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන වෙලඳ සැළක්ද ඔවුන් සතුය.

ආගමික සංස්ථාවෙන් පවුල් සංස්ථාවට එල්ලවූ ප්‍රශ්නය පහසුවෙන් විසඳාගැනීමට සියාෂිදීන් සමත් වුවත් පාස්කු ප්‍රහාරයත් සමඟ,ජාතියෙන් මුස්ලිම් වීම නිසා රාජ්‍යයෙන් එල්ලවන ප්‍රශ්න විසඳාගැනීම සියාෂිදීන්ලාට එතරම් පහසුවී නැත.

“සහරාන්ලා බෝම්බ ගහපු දවස්වල පොලීසිය,බුද්ධි අංශ නිතරම අපේ ගෙවල් පැත්තෙ එන්න ගත්තා. ඇවිත් විස්තර ලියාගෙන ගියා.අපි මුස්ලිම් වුණාට කාටවත් කිසි වරදක් කරලා නෑ. ඒ වගේම අපි ත්‍රස්තවාදියොත් නෙවෙයි.අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ගමේ ජීවත්වන ගම්වැසියො.”

සියාෂිදීන්ගේ හඬෙහි මෙන්ම දෑස්වලද ඇත්තේ ප්‍රශ්නකාරී බවකි.තමන් වැරදිනම් ඒ බව කියන්නැයි කියන්නාසේය.ජාතියෙන් මුස්ලිම්වීම නිසා සියාෂිදීන්ට මුහුණදීමට සිදුවූ එම තත්ත්වය පාස්කු ප්‍රහාර සිදුවීමට පමණක් සීමාවුයේ නැත.

“මේ ළඟදිත් මත්තල ගුවන් තොටුපලේ ආරක්ෂාවට ගැටලුවක් කියලා නිවුස්වල ගියා.   දවස් ගණනාවක් ඒකටත් පොලීසිය ආවා ගියා.රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි නීතියෙන් බැඳිලා ඉන්නවා උත්තර දෙන්න.ඒත් මහත්තයෝ නිතර නිතර පොලීසිය ගෙදරට එනකොට  අපි ගැන හොඳටම දන්න ගමේ අය තුළ වුණත් සැකයක් ඇතිවෙන්න පුළුවන්.මම පොලීසියෙ මහත්තුරුන්ටත් ඒ කතාව කිවුවා.”

එතැන් පටන් සියාෂිදීන්ගේ අවධානය යොමු වන්නේ තමන් මුහුණදෙන මෙම තත්ත්වයෙන් අනාගතයේදී හෝ දරුවන් සහ දරුවන්ගේ දරුවන් බේරාගන්නේ කෙසේද? යන කාරණය කෙරෙහිය.මෙය එක් මුස්ලිම් ජාතිකයෙකුගේ අත්දැකීමක් වුවත් එම කතාව සාමය,සහජීවනය,සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් සැලකූවිට   බරපතල,ඛේදජනක කතාවකි.

“සියාෂිදීන්ගේ කතාව මගින් මතුකෙරෙන තීරණාත්මක ගැටලුව පුද්ගලයෙකුට ජාතිය වෙනස් කෙරෙන අයුරින් නමක් වෙනස් කිරීමට ඇති සංකීර්ණතාවය නොවේ.බහුජාතික,බහු ආගමික අනන්‍යතාවයන් සහිතව විවිධ ජාතීන් ජීවත්වන රටක මුස්ලිම් ජාතිකයෙකු ලෙස වසර 53ක් ජීවත්වූ පුද්ගලයෙකු, තවදුරටත් මුස්ලිම් ජාතිකයෙකු ලෙස රටතුළ ජීවත්වීම අපහසු බව තේරුම් ගනිමින් තමන්ගේත්, දරුවන්ගේත්, දරුවන්ගේ දරුවන්ගේත් නම් සිංහල නම් ලෙස වෙනස් කිරීමට වෑයම් කිරීමය.”

“මෙය එක් මුස්ලිම් ජාතිකයෙකුගේ අත්දැකීමක් වුවත් එම කතාව සාමය,සහජීවනය,සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් සැලකූවිට   බරපතල,ඛේදජනක කතාවකි. ”

“අපේ කාලෙ නම් දැන් ඉවරයි .ඒත් අපේ දරුවොන්ගෙ දරුවන්ට හරි නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා අවසානයේ අපි අපේ මුස්ලිම් නම් සිංහල නම් වලට වෙනස් කරන්න තීරණය කළා. ඒ තීරණය ගත්තට පස්සෙ  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ රෙජිස්ටාර් අංශයට ගිහින් නෝනා කෙනෙක් හම්බ වෙලා ඒ බව කීවා. රාජ්‍ය ආරක්ෂාව නිසා ජාතියකින් තවත් ජාතියකට නම් වෙනස් කරන එක දැනට නතර කරලාලු.   ඒක රාජ්‍ය ආරක්ෂාව නිසා රජය ගනිපු තීරණයක්ලු. අපි කිහිප අවස්ථාවක්ම එතෙනට ගිහින් ඇවිටිලි කළාට පස්සෙ ඒ නෝනා කිව්වා වෙනස් කරන නම පත්තරේ දාලා ප්‍රසිද්ධ කරලා අවුරුද්දකට පස්සෙ අලුතින් පාවිච්චි කරන නමට අදාළ ලිඛිත සාක්ෂිත් එක්ක එන්න කියලා. තව පොලීසියෙන් ලියුමකුත්, ග්‍රාම නිලධාරිගෙන් ලියුමකුත් එක්ක තව ලියුම් ගොඩක් ගේන්නත් කිව්වා. කොහොමටත් ඒ වැඩේත් ලේසි වැඩක් නම් නෙවෙයි.අනිත අපට ඕන අපි හැමෝගෙම නම් සිංහලයට හරවන්න.එතකොට අඩු ගානෙ අපෙන් පස්සෙ දරුවන්ගෙ දරුවන්ටවත් ප්‍රශ්නයක් නොවී මේ රටේ ජීවත් වෙන්න පුළුවන් වෙයි.”

සියාෂිදීන්ගේ හැඟීම්බර කතාව වඩාත් නිරවුල් කරගැනීම සඳහා සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය සම්බන්ධ කර ගැනීමට දීර්ඝ වශයෙන් උත්සාහ කළද මෙවැනි කාරණයක් පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට     ඇය  කිසිසේත්ම එකඟතාවයක් දැක්වූයේ නැත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී හෙළිදරව්වූ තොරතුරු අනුව 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 27 වෙනි වගන්තිය යටතේ නම් සංශෝධනය සඳහා පුද්ගලයන්ට අයිතියක් තිබේ.එහෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධව ද ගැටලු ඇති හෙයින් ඊට අදාළ ඇමුණුම් හා වාර්තා ඉදිරිපත් කළ යුතු බවට විශේෂ චක්‍රලේඛයක් 2020.06.17 දින (චක්‍රලේක අංක 07/2020) රෙජිස්ටාර් ජෙනරාල්  වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ.ඒ යටතේ ‘තමන්ගේ ජාතිය නිරූපනය නොවන ආකාරයෙන් සම්පූර්ණයෙන් නමක් වෙනස් කිරීම’මුළුමනින්ම ඇහිරී නොමැති වුවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බව පෙනේ.

සියාෂිදීන්ගේ කතාව මගින් මතුකෙරෙන තීරණාත්මක ගැටලුව පුද්ගලයෙකුට ජාතිය වෙනස් කෙරෙන අයුරින් නමක් වෙනස් කිරීමට ඇති සංකීර්ණතාවය නොවේ.බහු ජාතික,බහු ආගමික අනන්‍යතාවයන් සහිතව විවිධ ජාතීන් ජීවත්වන රටක මුස්ලිම් ජාතිකයෙකු ලෙස වසර 53ක් ජීවත්වූ පුද්ගලයෙකු, තවදුරටත් මුස්ලිම් ජාතිකයෙකු ලෙස  රට තුළ ජීවත්වීම අපහසු බව තේරුම් ගනිමින් තමන්ගේත්, දරුවන්ගේත්, දරුවන්ගේ දරුවන්ගේත් නම් සිංහල නම් ලෙස වෙනස් කිරීමට වෑයම් කිරීමය.

දිගු කලක් තිස්සේ සාමය,සංහිඳියාව සහජීවනය පිළිබඳව කතාකරමින් සිටින මහජන නියෝජිතයින්ට,ඒ වෙනුවෙන් අරගල කරමින් සිටින විද්වතුන් සහ සමාජ ක්‍රියාකාරීන්ට  සියාෂිදීන්ලාගේ භිය හැරෙන්නට-හිත හැදෙන්නට යමක් කිව හැකිද?යමක් කළ හැකිද?

මේ වගේ තත්ත්වයන් සංහිඳියාවට හානිකරයි.

ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු සමන් සෙනෙවිරත්න

“ඇත්තටම රාජ්‍ය යාන්ත්‍රණය තුළ තිබෙන දුර්වලකමක් හැටියටයි මම මේ තත්ත්වයන් දකින්නේ.පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී  ඒකට සුදුසු ක්‍රමවේද හදුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕන.රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගේම ඒ පුද්ගලයාගේ මානව නිදහස ගැනත් හිතන්න ඕන.මේ වගේ තත්ත්වයන් සංහිඳියාවට හානිකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මානව නිදහස කියන කොටස  රාජ්‍ය විසින්ම අහුරා ගැනීමක් මේ කරන්නෙ.ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රස්න කරන්න ආණ්ඩුවට බලය තියෙනවා.නමුත් ඒවා විධිමත් ක්‍රියාමාර්ග විය යුතුයි.එහෙම නැතිව අවිධිමත් විදියට එක එක වෙලාවට කැමති කැමති අයගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කමක් නෑ.මේ කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක්.

  19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා.රාජ්‍ය සේවකයට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්කම තිබුණා.නමුත් දැන් එහෙම නෑ.දැන් නැවතත් දේශපාලකයට ගැතිකම් කරන්න වෙලා.රාජ්‍ය සේවකයා දේශපාලඥයාගේ වහලෙක් වෙලා. කොහොමටත් සංහිදියාව කියලා සම්ප්‍රදාය බිඳින්න බෑ.සංස්කෘතිය වෙනස් කරන්න බෑ.සංහිදියාව කියන්නේ අනිත් කෙනාගේ අනන්‍යතාව පිළිගන්න එක සහ ඊට ගරු කරන එකට.මේක බහුත්වවාදී සමාජයක්”.

“සංහිදියාව කියන්නේ අනෙකාගේ අනන්‍යතාව පිළිගන්න එක සහ ඊට ගරු කරන එකට.මේක බහුත්වවාදී සමාජයක්”.

 

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *