මැතිවරණ ක්‍රියාවලිය තුළ ඩිජිටල් ප්‍රචාරණයේ බලපෑම – සමාධි මදුරසිංහ

2016 ජනාධිපතිවරණයේ දී අමෙරිකා එකසත් ජනපදයේ පවා, මහජන මතය කෙරෙහි ඩිජිටල් මාධ්‍ය අහිතකර ලෙස බලපෑ ආකාරය පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැගී තිබුණි. ඒ, හිලරි ක්ලින්ටන්ට අවාසිසහගත වන සේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සෝවියට් කඳවුරේ සහය ද ඇතුව ගෙන ගියේ යැයි කියන ඩිජිටල් මාධ්‍ය මෙහෙයුමක් පිළිබඳ චෝදනාවක් පාදක කර ගෙනය. එවකට අමෙරිකා නීතිපතිවරයා ද මේ පිළිබඳ වාර්තාවක් පවා ඉදිරිපත් කර තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ, මැතිවරණයක දී ජන මතය කෙරෙහි ඩිජිටල් මාධ්‍යයෙන් එල්ල වන බලපෑම පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමුව ඇති බවය.
ඩිජිටල්; නැත්නම් සංඛ්‍යාතමය තාක්ෂණය නව මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණයට සම්බන්ධ වීම සහ ඒ අනුව ඕනෑම මැතිවරණයක දී සමාජ ජාල ඔස්සේ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපයට එල්ල කළ හැකි බලපෑම අතිමහත්ය. හිලරි ක්ලින්ටන් වැනි ප්‍රබල නායිකාවකට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එල්ල වූ බලපෑමෙන් මිදෙන්න නොහැකි වූයේ එබැවිනි. අද වන විට ඩිජිටල් මාධ්‍ය; නැත්නම් සමාජ මාධ්‍ය තුළ අති විශාල ග්‍රාහක පරිශීලකයන් ප්‍රමාණයක් සිටී. එය දිනපතා වර්ධනය වෙමින් පවතින්නකි. මේ පසුබිම තුළ මැතිවරණ සමයක දී ඩිජිටල් මාධ්‍යයෙන් යම් පුද්ගල චරිතයක් වටා පුවත් නිර්මාණය වීම ද, එමඟින් ඡන්ද දායකයාගේ මතයට සිදු වන බලපෑම ද ඉතා ඉහළය. මන්ද මැතිවරණයක දී ඩිජිටල් ප්‍රචාරණය යොදා ගැනීමෙන් ඡන්ද දායකයාගේ ඡන්ද මතය වෙනස් කළ හැකි ද? යන ගැටලුව එහි දී මතු වන බැවිනි.
මේ තත්ත්වය අමෙරිකාවට පමණක් අදාළ වූවක් නොවේ. ශ්‍රී ලංකාවේ ද අද වන විට මැතිවරණ ප්‍රවාරණය වෙනුවෙන් ඩිජිටල් ප්‍රචාරණය සුලබව යොදා ගනී. දැනට එක්සත් ජාතීනගේ සංවිධානය පිළිගත් ලෝකයේ තිබෙන රටවල් සංඛ්‍යාව 195කි. එකී රටවල් 195න් ප්‍රජාත්‍රන්ත්‍රවාදය මූලීක කර ගත් රටවල් සංඛ්‍යාව 167කි. එම රටවල් 167ම සිය පාලකයන් තෝරා ගන්නේ කිසියම් ආකාරයක මැතිවරණයක් මඟිනි. ලෝකයේ හොඳම ක්‍රමය නොවුණ ද, නරකම ක්‍රම අතර හොඳම ක්‍රමය ලෙස ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිගනිමින් ශ්‍රී ලංකාව ද මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් රටක් බවට පත්ව තිබේ. මෙකී ප්‍රජාත්‍රන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් තුළ ඡන්ද දායකයා වෙත ළඟා වීමට අපේක්ෂකයෝ විවිධ ප්‍රචාරක ක්‍රම අනුගමනය කරති. එහි ප්‍රමුඛත්වය පැහැදිලි කරන සංඛ්‍යාත්මක නිදසුනක් වනුයේ, 2020 පාර්ලිමේන්තු මැතිවරණයයි. ඊට සහභාගී වූ සියලු පක්ෂවල ප්‍රචාරක වියදම රුපියල් මිලියන 514ක් පමණ විය හැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සමීක්ෂණයක් මඟින් පැහැදිලි කරයි.
එකී මැතිවරණ ප්‍රචාරණ ක්‍රම අතර සාම්ප්‍රදායික වශයෙන් විද්‍යුත් මාධ්‍යයට, මුද්‍රිත මාධ්‍යයට අමතරව අපේක්ෂකයන් විසින් ප්‍රචාරණයේ නව ප්‍රවණතාවක් ලෙසින් ඩිජිටල් මාධ්‍ය ද ප්‍රචාරණයට යොදා ගනී. 1931 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සර්වජන ඡන්ද බලය ලබා ගැනීමත් සමඟ මේ දක්වා පැවැත්වූ මැතිවරණ 74ක ඉතිහාසය තුළ ප්‍රචාරණය වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය යොදා ගැනීම යනු අපේක්ෂකයාට මෙන්ම ඡන්ද දායකයාට ද නව අත්දැකීමකි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ගණනය කිරීම්වලට අනුව 2020 මහ මැතිවරණයේ දී පමණක් ඊට ඉදිරිපත් වන පක්ෂ රුපියල් මිලියන 514ක් වැනි මුදලක් වියදම් කළේ නම්, එක් ඡන්ද දායකයකුගේ ප්‍රචාරක වියදම රුපියල් මිලියන 32ක් පමණ වේ. (ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 2019 දී නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 ලියාපදිංචි ඡන්ද හිමි සංඛ්‍යාව 16,263,885කි.) එය ඍජුවම ඡන්ද දායකයාගෙන් ඡන්දය තමන් වෙත ලබා ගැනීම උදෙසා පොලඹවනු වස් සිදු කෙරන ප්‍රචාරණ වියදමකි. මේ වියදම තුළ ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණය සඳහා කළ වියදම මෙන්ම, අනෙකුත් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණයට කළ වියදම් ද ඇතුළත්ය. මේ අනුව ඡන්ද දායකයා කෙරෙහි ඩිජිටල් ප්‍රචාරණයේ බලපෑම සිදු වන ආකාරය පැහැදිලිව පෙනෙයි. අභියෝගය වන්නේ මේ ප්‍රතිශතය තව දුරටත් වර්ධනය වීමයි.
එනිසාම ජන මතය කෙරෙහි මෙකී ඩිජිටල් ප්‍රචාරණයේ බලපෑම සිදු වන ආකාරය පිළිබඳ වූ වයස් කාණ්ඩ දෙකක් යටතේ ප්‍රජා කණ්ඩායම් දෙකක් ඇසුරු කර ගනිමින් පුළුල් හා ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍යව තිබේ. ඊට ප්‍රවේශයක් ලෙස ඩිජිටල් මාධ්‍යයේ ප්‍රචාරණය ජනමතය කෙරෙහි බලපෑම පිළිබඳ මූලික අධ්‍යයනයක් කළෙමි. මේ අධ්‍යයනය තුළින් මූලිකවම විමසා බැලීමට ලක් කළේ, ඡන්ද දායකයා අපේක්ෂකයන්ගේ විවිධ මැතිවරණ ප්‍රචාරණ ක්‍රම කෙරෙහි කෙතරම් ප්‍රතිචාරයක් දක්වන්නේ ද? ඒවා පිළිබඳ දැනුම්වත් භාවයකින් පසුවේ ද? හා ඔවුන් වඩාත් ආකර්ෂණීය වන්නේ කුමන ප්‍රචාරණ ක්‍රමයට ද? යන කරුණුය. එයට අනුව සමීක්ෂණය සඳහා සහභාගී වූ එක් කණ්ඩායමක වූවෝ වයස අවුරුදු 18-30 අතර වු ඡන්ද දායකයන් විසි දෙනෙකි. අධ්‍යයනයේ දී ලබා ගත් තොරතුරු අනුව ඒ අතුරින් අපේක්ෂකයන් 14 දෙනෙකුම මැතිවරණ කාල සීමාව තුළ සිදු කරන ලද සමාජ සේවා වැනි කටයුතු සමාජ මාධ්‍යයේ පළ කිරීම හේතුවෙන් ඇති කරන ලද පෙලඹවීම මත, ඡන්දය ලබා දී තිබුණි. එය ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ 70% කි. එම පිරිසෙන් එකළොස් දෙනකුගේම මතය වන්නේ, මැතිවරණ ප්‍රචාරණයේ දී අනෙකුත් සාම්ප්‍රදායික ජන මාධ්‍යයට වඩා සමාජ මාධ්‍ය යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවයි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 55% ක ප්‍රතිශතයකි. මේ අධ්‍යයනයට සහභාගී වූවන් ඊට හේතුව ලෙස දක්වන්නේ, ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔස්සේ සුහුරු ලෙස සමාජ මාධ්‍යයට පිවිසීමේ හැකියාව තිබීමයි. එම සහභාගිකයන් ගෙන් ලබා ගත් තොරතුරුවල දී තව දුරටත් පෙනී ගිය කරුණ නම්, මේ කාණ්ඩයේ වැඩි දෙනකු පුවත්පත්, රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ආශ්‍රයෙන් කරන මැතිවරණ ප්‍රචාරණය කෙරෙහි වැඩි අවධානයක් ලබා දී නොමැති බවකි. මේ පිරිස අතුරින් ඡන්දය ලබා දීම සඳහා එම මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් හඳුනා ගෙන ඇත්තේ නව දෙනකු පමණි. එය ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ 45%ක ප්‍රතිශතයකි.
එම සමීක්ෂණයකට යොදා ගත් අනෙක් ප්‍රජා කණ්ඩායම වූයේ, වයස අවුරුදු 50ට වැඩි සමාජ ජාලා පරිහරණය කරනු ලබන නමුත්, පුවත්පත, රූපවාහිනිය හා ගුවන්විදුලිය මඟින් ද තොරතුරු ලබා ගන්නා විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකි. ඔවුන්ගෙන් ලඳ තොරතුරුවලට අනුව, දහනම දෙනෙක්ම තම ඡන්දය භාවිත කර තිබුණේ, පුවත්පත, රූපවානිය හා ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් හඳුනා ගත් අපේක්ෂයන් වෙනුවෙනි. එය ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ 95% කි. වැඩිහිටියන් බහුතරය එසේ වුව ද, එය අඩු වෙමින් පවතින ප්‍රවණතාවක් බව වැඩි දුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ.
ඩිජිටල් ප්‍රචාරණය මඟින් ඡන්ද දායකයාට සැලකිය යුතු බලපෑමක් කළ හැකි බව මැතිවරණ අපේක්ෂකයන් වටහා ගෙන සිටින බව පැහැදිලි කරුණකි. ඒ බව සනාථ වන්නේ, ශ්‍රි ලංකාවේ මැතිවරණ වෙනුවෙන් 2015 වැනි කාලයෙන් පසුව සිට ඡන්ද ප්‍රචාරණයට ඩිජිටල් මාධ්‍ය යොදා ගැනීමෙනි. එමඟින් පක්ෂ මෙන්ම අපේක්ෂකයන් ද බලාපොරොත්තුව ඇත්තේ, නව ප්‍රවණතාවකින් ඡන්ද දායකයාට ළඟ වීමයි.
අන්තර්ජාලයෙන් සපයා ගත් තොරතුරුවලට අනුව (BBC News-bbc.com) සමාජ ජාලා විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා සඳහන් කරන පරිදි 2015 වසර වන විට ශ්‍රි ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කළ මුළු පිරිස ජනගහනයෙන් 25% කි. 2019 වන විට එම ප්‍රතිශතය 33%-35%ක් ඉහළ ගොස් ඇතැයි පවසන ඔහු, ඉන් බහුතරය අවම වශයෙන් එක් සමාජ ජාලයක් හෝ භාවිත කරන බව පෙන්වා දෙයි. 2019 ජනාධිපතිවරණය හා 2015 ජනාධිපතිවරණය සැසඳීමේ දී සමාජ ජාල ඔස්සේ ජන මතයට එල්ල කළ බලපෑම ඉහළ ගොස් ඇතුවා සේ ම, එහි ඇති බැරෑරුම්භාවය දේශපාලඥයන් සහ ඔවුන්ගේ ප්‍රචාරණ කණ්ඩායම් ද වටහා ගෙන ඇති හැඩක් පෙනෙන්න ඇතැයි සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පවසයි.
පෙර දක්වා ඇති පරිදි 2020 මහමැතිවරණයේ දී පවා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රචාරණවලට අදාළ වියදම රුපියල් මිලියන 15ක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිරිපත් කළ වැය ශීර්ෂය අනුව පැහැදිලි වෙයි.
අපේක්ෂකයකු හෝ යම් පක්ෂයක් හෝ මෙතරම් මුදල් ප්‍රමාණයක් ඩිජිටල් ප්‍රචාරණය වෙනුවෙන් වැය කරන්නේ දැයි පැහැදිලි නැත. මේ ප්‍රවණතාව ඉදිරි අනාගතයේ දී කුමන අතකට යොමුවේ දැයි විමර්ශනය කිරීම ද කාලීන අවශ්‍යතාවකි.
මේ සොයාගැනීම් වඩාත් තහවුරු වන්නේ, මැතිවරණ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සම්බන්ධ වන මැතිවරණ නිරීක්ෂකයන් ද එම කරුණු සනාථ කරමින් දක්වා ඇති අදහස්වලිනි. ඒ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසා සිටියේ, මේ වන විටත් මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ ඩිජිටල් ප්‍රචාරණය ප්‍රධාන සාධකයක් බවට පත් වෙමින් ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළ එම බලපෑම වඩා තීරණාත්මක විය හැකි බවත්ය.
පසු ගිය මැතිවරණ කාලය තුළ ෆේස්බුක් වැනි සමාජ ජාලා මාධ්‍යයන්ගේ ඇති වූ නව තත්ත්වයක් වූයේ, ජයගහනය පත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි පමණක් නොව; ඔවුන් ලබා ගන්නා මනාප ප්‍රතිශතය පවා සමාජ ජාලා සමීක්ෂණ ඔස්සේ ජනතාවට පූර්වයෙන්ම දැක බලා ගැනීමට සැලැස්වීමයි. මෙකී තත්ත්වය එක්තරා අන්දමකින් ඡන්ද දායකයාගේ මතයට බලපෑම් කරන්නකි. ශ්‍රී ලංකාවේ තවමත් භාවිතයට පැමිණ නොතිබුණ ද, සමාජ ජාල ඔස්සේ මහජන මතය හැසිරවීම උදෙසා විදෙස් රටවල Artifical Interligence හෙවත් කෘත්‍රිම බුද්ධිය පවා යොදා ගනී. එක්සත් රාජධානියේ 2017 මහමැතිවරණයේ දීත්, 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේ දී සහ ලොව පුරා තවත් ප්‍රධාන රටවල් කිහිපයක් ද මේ ක්‍රමය භාවිත කර ඇති බව IEEE Spectrum වෙබ් අඩවිය වාර්තා කරයි.
Bots වැනි ක්‍රමලේඛන මඟින් මිනිස් ගිණුම් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ට්විටර් සහ ෆේස්බුක් වැනි වෙබි අඩවිවල දරුණු දේශපාලන වාර්තාකරණයක් ඇති කිරීමට මෙහි දී කටයුතු කෙරේ. Bots යනු පුද්ගලයකු විසින් අන්තර්ජාලය තුළ යම් නිශ්චිත අවශ්‍යතාවක් මුල් කර ගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන මෘදුකාංගයකි. සුලබව භාවිත නොවුණ ද, තවත් මෙවැනි ක්‍රම ලේඛන කිහිපයක්ම භාවිතයේ පවතී. එසේ ම, අපේක්ෂකයකු පිළිබඳ ඍණාත්මක දේ හෝ ධනාත්මක දේ සමාජ මාධ්‍ය ගත කර, ඒවාට කෘත්‍රිමව ප්‍රතිචාර දක්වා, ඡන්දය ප්‍රකාශ කරන දිනය වන විට ඡන්ද දායකයාගේ මතය වෙනස් කිරීමක් දක්වා කටයුතු කළ හැකි තත්ත්වයක් ඇත. රට තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය අනුව, ශ්‍රී ලංකාවේ ද අනාගතයේ මෙවන් ප්‍රවණතාවක් ඇති නොවේ යැයි සිතිය හැක්කේ කෙසේ ද?
වර්තමානයේ බහුතර පිරිසක් නව මාධ්‍යයට පිවිසෙන්නේ, අද සමාජයේ ඉතා සුලබව ඇති ජංගම දුරකථනය උපයෝගී කර ගනිමිනි. Statista Research Department දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පමණක් 2000 වසරේ දී මිලියන 0.43ක්ව තිබූ ජංගම දුරකතන සන්නිවේදන භාවිතය 2019 වසර වන විට මිලියන 30.78ක් දක්වා වර්ධනය වී ඇත. Statista Research Department තොරතුරුවලට අනුව, ලෝකය පුරාම අවධානය යොමු කිරිමේ දී 2021 වසරේ ජූලි වන විට ලෝකයේ facebook පරිශීලකයන් පමණක් මිලියන 2853ක් ප්‍රමාණයක් සිටිති. ජනප්‍රියම මාධ්‍යයක් ලෙසින් ලෝකයේම youtube පරිශීලක සංඛ්‍යාව මිලියන 2291කි. මෙයාකාරයේ පරිශීලක සංඛ්‍යාවක් වර්ධනය වීම, අපේක්ෂකයකුට ඩිජිටල් ප්‍රචාරණයට පදනම සපයන්නකි. එය තව දුරටත් තහවුරු වන්නේ, ඩිජිටල් ප්‍රචාරණයේ බලපෑම සිදු වන ආකාරය පිළිබඳ අනාවරණය කර ගැනීම සඳහා වයස් කාණ්ඩ දෙකක් යටතේ ප්‍රජා කණ්ඩායම් දෙකක් ඇසුරු කර ගනිමින් කළ ඉහත කී අධ්‍යයනය මඟිනි. එහි දී වයස අවුරුදු 18-30 ත් අතර සහභාගිකයන් විසි දෙනෙකු අතුරින් 14 දෙනෙකුම අපේක්ෂකයන් මැතිවරණ කාල සීමාව තුළ සිදු කළ සමාජ සේවා වැනි කටයුතු, සමාජ මාධ්‍යයේ පළ කිරීම හේතුවෙන් ඇති කරන ලද පෙලඹවීම මත ඡන්දය ලබා දී තිබිණි. එම පිරිසෙන් එකොළොස් දෙනෙකුගේම මතය වූයේ, මැතිවරණ ප්‍රචාරණයේ දී ජන මාධ්‍යයට වඩා සමාජ මාධ්‍ය යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවයි. එසේ ම මේ අධ්‍යනයට සහභාගී වූවන් ඊට හේතුව ලෙස ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔස්සේ සුහුරු ලෙස සමාජ මාධ්‍යයට පිවිසීමේ හැකියාව ඇති බව පවසා තිබිණි.
වැඩි දුටත් විමසා බලන විට 2015 ජනාධිපතිවරණය හා 2019 ජනාධිපතිවරණය සැසඳීමේ දී සමාජ ජාල ඔස්සේ ජනමතයට එල්ල කළ බලපෑම 2019 වන විට වර්ධනය වී ඇතුවා සේ ම, එහි ඇති බැරෑරුම්භාවය දේශපාලඥයන් සහ ඔවුන්ගේ ප්‍රචාරණ කණ්ඩායම් ද වටහා ගෙන ඇති හැඩක් පෙනෙන්න ඇතැයි සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයෙන් තව දුරටත් තහවුරු වේ. මෙකී කාරණා සියල්ලක් මත පෙනී යන කරුණ නම්; ශ්‍රී ලාංකේය ඡන්ද දායකයාගේ මතයට, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරණය මේ වන විටත් සැලකිය යුතු බලපෑමක් සිදු කරන බවයි.
එකී බලපෑම මෙයින් නොනවතින බව ඉහත දක්වා ඇති සියලු අධ්‍යයන මඟින් සනාථ වේ. එබැවින් මෙරට මැතිවරණ ප්‍රජාත්‍රන්තවාදයේ අනාගත යහ පැවැත්ම උදෙසා කඩිනම් පියවර ගත යුතුව ඇති බව පෙනෙන්න තිබේ. ඒ සඳහා මෙරට මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ ඩිජිටල් ප්‍රදාරණය කිසියම් විනිවිද භාවයකට හා නියාමනයකට බදුන් කළ යුතුය. ඊට නිසි යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය. එසේ නොවුණහොත්, මෙරට මැතිවරණ ක්‍රියාදාමය ද, ඩිජිටල් මාධ්‍ය ක්‍රියාකාරීත්වය ද තිරය පිටුපස සිටින අදිසි බලවේග විසින් ක්‍රියාත්මක කරන කළු අරමුදල්වල ගොදුරු බවට පත් වීම වැලැක්විය නොහැකිය.