මල්වතු මහනාහිමිගෙන් තහනමක් – මහනුවර වාර්තාකරු

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින ජනතාව ඉල්ලා සිටිනදේ තේරුම් ගෙන පාලකයින් ඊට විසඳුම් ලබාදිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.මෙම ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් දේශපාලනඥයින්ට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවස්ථාව ලබා නොදීමට තීරණය කළේ ඒ නිසා බවද උන්වහන්සේ කීහ.
ගෝල්ෆේස් අරගල භූමියේ තරුණ පිරිසක් අද දිනයේ මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
දිමුතු බඹරදෙණිය,මංජුල සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ඔවුන් අරගලකරුවන්ගේ අරමුණු හා සම්බන්ධ යෝජනාවලියක්ද මහනාහිමියන්ට පිළිගැන්වූහ.
සිංහල,දෙමළ,මුස්ලිම් සියලු ජනතාව ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති,ආගම් බේදයෙන් තොරව ඉල්ලා සිටින දේ කුමක්ද යන්න පාලකයින් තේරුම්ගත යුතු බවත් එසේ නොකර ඔවුන් අතර බේද ඇති කිරීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ මංජුල සමරසේකර මහතා දේශපාලනඥයින්ට තමන් වහන්සේ බැහැදැකීමට අවස්ථාව නොදෙන බවට මල්වතු මහනාහිමියන් කළ ප්‍රකාශය අරගල භූමියේ සිටින ජනතාවට යෝධ ශක්තියක් වූයේ යැයි පැවසුවේය.එය ලංකා ඉතිහාසයේ තීරණාත්මක තීන්දුවක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව සිටින ජනතාව කැපකිරීම් කරනු ලබන්නේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොව මේ රටේ එක්කෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ඔවුන් මෙම අරගලය දියත්කර තිබෙන බවත් සමරසේකර මහතා කීය.
මල්වතු මහ විහාරයෙන් දේශපාලනඥයින්ට ලබාදී තිබෙන ගෞරව නාම යළි පවරා ගන්නා ලෙසත් ඔවුන් එම නාම වලට අගෞරවයක් වන ලෙන කටයුතු කිරීමෙන් මහ විහාරයටද අගෞරවයක් සිදුවන බවත් ඒ මහතා කීය.