පාලකයා ඉන්න ඕනෑ ජනතාව එක්ක ..වැදී නායක කියයි .. – මහනුවර වාර්තාකරු

අසනීපයක් වැළඳුණු පසු වා,පිත්,සෙම සියල්ල උත්සන්න වන්නා සේ රටක අර්බුදයක් ඇතිවූ විටද නොයෙක් කණ්ඩායම් ඒ තුළින් වාසි ගැනීමට පෙළෙඹෙන බවත් ඒ සම්බන්ධව සියලු දෙනා සැලකිලිමත් විය යුතු බවත් වැදිනායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පවසයි.
ජන නායකයින් සෑම විටම ජනතාව පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවද ආදිවාසි නායකයා පැවසුවේය.
මහනුවර රාසිංදේව්,හින්දු සීනියර්,කැප්පෙටිපොළ විද්‍යාලය,තක්ෂිලා හා සිද්ධි ලෙබ්බේ යන පාසල් ඒකාබද්ධව පැවැත්වූ සංහිඳියා අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වෙමින් වන්නියලෑ ඇත්තෝ මේ බව ප්‍රකාශ කළේය.
රාසිංදේව් විද්‍යාලයේ විදුහල්පති අ.මු.තු බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව පැවැති මෙම අවුරුදු උත්සවය මෙවර පැවැත්වුණේ දෙවන වරටය.ළමුන් 200 කට අඩු සිසුන් පිරිසක් සිටින අදාළ පාසල් ඒකාබද්ධව පවත්වනු ලැබූ මෙම සංහිඳියා අවුරුදු උත්සවය දෙයියන්නේවෙල ඊබට් සිල්වා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් කතා කළ වැදිනායකයා මෙසේද පැවසුවේය.අද ජනතාව මත විශාල පීඩනයක් පැටවී තිබෙනවා.ජනතා ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට යම් අපහසුතා තිබෙන බව පේනවා.කොහොම වුණත් පවතින දුෂ්කරතා ජනතාවට කියනවා නම් තමයි වඩා හොඳ.සිඟමන් යදින අයටත් අද ගැටලු ඇතිවෙලා.මේ වගේ දුෂ්කර අවශ්ථාවක රජය කරන්න ඕන වෙනත් වැඩ නතර කරලා ජනතා හඬට කන්දීමයි.
තෙල්,බෙහෙත්,ගෑස් ප්‍රශ්න තිබෙනවා.අපි කැලෑවේ ජීවත්වන නිසා තෙල් මිල ඉහළ යාම අපට ප්‍රශ්නයක් නැහැ. ගෑස් වුණත් එහෙමයි. කැලෑවේ දර ඕන තරම් තිබෙනවා.අපිට ප්‍රශ්නයක් නැහැ කියලා හරියන්නේ නැහැ. නගරයේ ඉන්න ජනතාවට මේවා නැතුව බැහැ.ජනාධිපති,අගමැති, ඇමැතිවරු,මනත්‍රීවරු එක කතාවක් රටට කියන්න ඕන.මේ අය එකිනෙකට පරස්පර කතා කියනවා නම් රට තවත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා.මිනිස්සුගේ ගැටලු වලට අවධානය යොමු කරනවා නම් තමයි හොඳ.මිනිස්සු නිසා තමයි නායකත්වය පැවතිලා තියෙන්නේ. ඒ නිසා ඒවා ගැන අවධානය යොමුකරන්න ඕන.හැම වෙලාවෙම පාලකයෙක් ඉන්න ඕන මිනිස්සු පැත්තේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *