කාන්තා ඉල්ලීම් වලට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමතිවරයාගෙන් යහපත් ප්‍රථිචාරයක් -ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා

සෑම පාරිභෝගික ද්‍රව්‍යකම මිල ඉහළ ගොස් ඇති බැවින් මහජනතාව දැඩි ආර්ථීක අපහසුතා මත අසීරුවෙන් ජීවත් වන බවත් එම අමාරුකම් අද වන විට මිනිස්සුන්නට දරාගත නොහැකි තත්ත්වයකට පැමිණ ඇතිබවත් තමන්ගේ සීමාවේ සිට කාන්තාවන් ඉදිරිපත් කරන ඇතැම් ඉල්ලීම්, යෝජනා වලට විසඳුම් ලබාදෙන්නට පියවර ගන්නා බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සමුපකාර සේවා, වෙළෙඳ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එසේ ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකාවේ ජනතාවට වර්ථමානයේ දී මුහුණදෙන්නට සිදුවි ඇති දැවැන්ත ආර්ථික පරිහානිය දරාගත නොහැකි බවත් , ඉන් විශාල වශයෙන් ස්ත්‍රීන් පීඩාවට පත්වී ඇති බවත් ප්‍රකාශකරමින් “ආර්ථීක අයිතිවාසිකම් උදෙසා අපි” ජාතික කාන්තා ව්‍යාපාරය විසින්, ඊට විසඳුම් ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අත්සන් 200,000 යේ මහජන පෙත්සම භාරගනිමින් ය
වර්තමානයේදි පවතින මෙම දැඩි පීඩනය හමුවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වී ගන්නා මේ උත්සාහය ගැන ජාතික කාන්තා ව්‍යාපාරයට ස්තුති කරනවා. ඒ වගේ ම අපේ කාර්ය භාරය වෙන්නේ සියලු ආකාරයෙන් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම නිසා, මේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙනුවෙන් හැකි ආකාර වලින් පොදුවේ තිරසර විසඳුම් ලබාදෙන්නට අපි උත්සාහා ගන්නවා, යැයි මාර්තු 14 වෙනිදා සිය අමාත්‍යංශයේ දි පෙත්සම භාරගනිමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
“ආහාර අපේ අයිතියකි” යන තේමාව යටතේ ලංකාවේ සමස්ත ස්ත්‍රීන් වර්ථමානයේ දී මුහුණ දෙන ආර්ථීක පීඩනය, ජීවන බර දරාගත නොහැක, නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කරගත නොහැක, ණය නොවී ජීවත් විය නොහැක යනුවෙන් ඔවුන් රජයට ඉදිරිපත් කරන ප්‍රශ්න සහ කරුණු ප්‍රධාන අංශ හතරකට වෙන්කර දක්වමින් පෙත්සම තුළින් විසඳුම් ඉල්ලා සිටිති.
පසුගිය වසරේ ලෝක ආහාර දිනය නිමිතිකර ගනිමින් ඔක්තෝබර් 23 දා සිට පෙබරවාරි මාසය දක්වා ග්‍රාමිය හා නාගරීක මට්ටමින් මහජනතාවගෙන් ලබාගත් අත්සන් ලක්‍ෂ දෙකක් සහිත මහජන පෙත්සම, මහජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙසේ භාරදුන් බව සවිස්ත්‍රි කාන්තා සංවිධානයේ ජාතික සම්භන්ධීකාරික පද්මා පුෂ්පකාන්ති පැවසීය.
කෝවිඩ් 19 වසංගතය මැද වුව ද අසීරුකම් පසෙක ලා, මාතර, මාතලේ, අනුරාධපුර, වවිනියාව , මඩකළපුව , නුවරඑළිය සහ ගම්පහා යන දිස්ත්‍රික්ක 07ක මහජනතාව මෙම පෙත්සමට අත්සන් ලබාදුන් බව ඇය කීවේය.
“ශ්‍රී ලංකාවේ ආහාර හිඟය ඇතුළු දරිද්‍රතාවය ඉහළ යමින් පවතින බවත් රට තුළ ජීවත්වන සාමාන්‍ය ගොවීන්, ධීවරයින්, කම්කරුවන්, කුඩා නිෂ්පාදකයින්, කුඩා වෙළෙන්දන්, ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන සේවකයින් සහ දෛනික කම්කරුවන් යන ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවත්, ඉන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් බවත්, පෙත්සමේ සඳහන් වෙයි.
වවිනියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහජන පෙත්සම භාරදීමට පැමිණ සිටී මේරි ලුසියා කියා සිටියේ, ආහාර, ආර්ථීකය, රැකියාව, ආරක්‍ෂාව, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය යන සියල්ලම අද දැඩි ලෙස ඝෘජුවම කාන්තාවන්ට බලපාන බවත්, එම ප්‍රශ්න පිළිබඳව ඇමතිවරයා සමග සාකච්ඡා කළ බවත් , ඊට ඇමතිවරයාගේ දැඩි අවධානය යොමු වු බවත් ඉදිරියේදි යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් ගොඩනැගුණු බවත් ය.
වෙළෙඳ කළාප ආශ්‍රිතව ජීවත්වන කලාප සේවක සේවිකාවන් හට සහන මිලට බඩු ගැනීම සඳහා වෙළඳසැල් ද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමත ඔසු සැලක් ද, නේවාසිකාගාර හිමියන්ට ජලනල ඔස්සේ බීමට සුදුසු ජලය ලබා ගැනීම සඳහා සහනදායි ක්‍රමයක් ද සකස්කර දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ඇමතිවරයා පොරොන්දු වුයේ යැයි නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් පෙනීසිටින RED ආයාතනයේ සභාපතිනි චන්ද්‍රා දේවනාරායන කීවේය.
ඉල්ලීම් ඉටුකරවා ගැනීම සඳහා, යෝජනාවලියක් ද ඉදිරිපත් කරන “ආර්ථීක අයිතිවාසිකම් උදෙසා අපි” ජාතික කාන්තා ව්‍යාපාරය, ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේ ඊට මුහුණ දීම සඳහා, රටක් වශයෙන් ප්‍රතිපත්තියක් මත පදනම් වු සැලසුම් සහගත වැඩපිළිවෙලක් තිබිය යුතු වුවද එවැනි සුදානමක් හෝ වැඩපිළිවෙලක් අප රට තුළ නැති බව දිනෙන් දින උග්‍රවන ප්‍රශ්නවලින් පෙන්වා දෙන බව ද ප්‍රකාශ කරති.
කෙසේවෙතත්, වර්තමානයේදි පවතින මෙම දැඩි පීඩනය හමුවේ සවිස්ත්‍රී කාන්තා ව්‍යාපාරය ප්‍රමුඛ ආර්ථික අයිතීන් සඳහා වූ ජාතික කාන්තා ව්‍යාපාරය විසින් රටේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වී ගන්නා උත්සාහය ඇමතිතුමාගේ පැසසුමට ලක්වු බව ද ඔව්හු ප්‍රකාශ කළෝය.