විපක්ෂය කරන උද්ඝෝෂණ වලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නැහැ – මහනුවර වාර්තාකරු

කොළඹට ජනතාව රැස්කර විපක්ෂය කරන උද්ඝෝෂණ වලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඒවායින් සිදුවන්නේ විපක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තහවුරු වීම පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

කොවිඩ් අර්බුදය හා බැදුණු කාරනා ගණනායක් හේතුවෙන් විදේශ විනිමය සංචිත පහත වැටීම නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව යම් අසීරුතාවකට පත්ව සිටින නමුත් ඔවුන් රටට විනාශය ගෙනා යහ පාලන ආණ්ඩුවේ නැවත බලය දීමට කිසිදු සූදානමක් නොමැති බවද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා  (15) මේ බව ප්‍රකාශ කළේය.

විපක්ෂයේ සිටියදී මේ ආකාර උද්ඝෝෂණ සිය දහස් ගණනක් තමන් ඇතුළු කණ්ඩායම විසින්ද සිදුකළ බවත් ඒවායින් විපක්ෂයේ පැවැත්මට මිස ජනතාවට අත්වන සෙතක් නොමැති බවත් මන්ත්‍රීවරයා කීය.

විපක්ෂය උද්ඝෝෂණ එකක් නොව දහසක් කළත් ආණ්ඩුව ඉදිරියට යන බවත් බල්ලෝ බිරුවාට තවලම් නොනවතින බව විපක්ෂය තේරුම් ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජනපති හා මුදල් ඇමැතිවරයා විශාල උත්සහයක් ගනිමින් සිටින බවත් මේවන විට ජත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ණය ආධාර ලබාගත් පාර්ශව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් ජගත් කුමාර මහතා කීය.

අද ආණ්ඩුවට චෝදනා කරන සජිත්,රනිල් ඇතුළු පිරිස ආණ්ඩු කළ කාලය පිළිබඳ ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන බවත් වත්මන් ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ යහපාලනය එපා වී බවත් ඒ මහතා පැවසුවේය.
මළ මිනියකින් හෝ කීයක් හෝ හම්බකරගෙන ජීවත් වෙන්න උත්සහ කරන ව්‍යාපාරිකයින් පිරිසක් රටේ සිටින බවත් රජය ලබාදෙන බදු සහන වලින් අයුතු ප්‍රයෝජන ගෙන ඔවුන් මඩිය තරකර ගන්නා බවත් මන්ත්‍රීවරයා කීය.
රජයෙන් බදු සහන ලබාගෙන එහි ප්‍රතිලාභ ජනතාවට නොදෙන මෙම ව්‍යාපාරිකයින් කරන්නේ ජනතාවට කොකා පෙන්වීම බවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් යමක් ගෙන පොදු ජනතාවට ලබාදෙන සූරසරදියෙල් න්‍යාය ක්‍රියාත්මක නොකර රට ගොඩනැගිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *