ආණ්ඩු මාරුවකින් රට ගොඩගන්න බැහැ – පාඨලී චම්පික රණවක කියයි – මහනුවර වාර්තාකරු

champika ranavaka

රට පත්ව තිබෙන අරබුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳමා ආණ්ඩු මාරුවකින් කළ නොහැකි බවත් මේ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා එකතුවී රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට බාරදිය යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙය ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරී තිබෙන වගකීමක් බවද ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පෙරේදා (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීවේය. රටේ පවතින ආර්ථික,බලශක්ති හා මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා කරුණු පහකින් සමන්විත වැඩපිළිවෙළක් අපි පසුගිය ජනවාරි මස 23 දින රටට ඉදිරිපත් කළා.එම වැඩපිළිවෙළ පිළිබඳව මහනාහිමිවරු දැනුවත් කළා.අද මේ රටේ පාලනයේ වෘත්තිය භාවයක් නැහැ.පහත් පෙළේ දේශපාලන කෙරුවාවක් කරගෙන යන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ.රටේ අත්‍යවශ්‍යය ඖෂධ 120 ක් නැහැ.මිනිස්සුන්ට කිරිපිටි,පොහොර,ගෑස්,ඉන්ධන නැහැ.ජනතාව මෙම ප්‍රශ්න වලින් පීඩා විඳීත්දී ආණ්ඩුව කරන්නේ මාර්ග කිලෝ මීටර ලක්ෂයක් කාපට් කිරීමයි.වැඩ ලක්ෂයක් ගමේ කරන්න යනවා. තමන්ගේ දේශපාලන හිතවතුන් පිනවීම තමයි මේ මගින් සිදු කරන්නේ.මුලින්ම රටේ මිනිස්සුන්ට බෙහෙත්,ආහාර,විදුලිය,තෙල්,ගෑස් දෙන්න ඕන.

දැන් රටට අවශ්‍යය භාරකාර බුද්ධි මණ්ඩලයක්.විශේෂයෙන්ම මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතිය,ආදායම් බදු දෙපාර්තමේන්තුව,සුරාබදු දෙපාර්තුමේන්තුව,රේගුව විදුලි බල මණ්ඩලය,ඛනිජ තෙල් සංස්ථාව ජල සම්පාදනය වගේ තැන් බුද්ධි මණ්ඩලයක් යටතට පත්කර භාරකාර පාලනයක් කරා ගෙනයා යුතුයි.මුළුමනින්ම රට කඩා වැටිලා තිබෙන්නේ.තවත් මිනිස්සුන්ට ඉවසන්න බැහැ.මේක කැරැල්ලක් කරා වර්ධනය විය හැකියි.ඒක වලක්වා ගැනීම සඳහා අපි ඉදිරිපත් කළවැඩපිළිවෙළ වගේම තවත් අය වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.මේවා ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධි මණ්ඩලයකට බාරදිය යුතුයි.

අපිට තිබෙනව තාප බලාගාර,විශාල ජල විදුලි බලාගාර සහ පුණර්ජනනීය බලාගාර මගින් මෙගාවොට් 4800 ක ධාරිතාවක් උත්පාදනය කළ හැකියි.අපේ ඉල්ලුම තිබෙන්නේ මෙගාවොට් 2700 යි.එතකොට 4800 කින් 2700 ක් දීගන්න බැරිවෙලා තිබෙන්නේ තෙල් නැනි නිසයි. ත්‍රස්තවාදී ක්‍රියා,ගංවතුර,නියඟය නිසා හෝ ජලාශ සිඳීගිය අවස්ථාව වල බලාගාර අඩපණ වෙලා ප්‍රශ්න ඇතිව තිබෙනවා.නමුත් මේ වගේ තත්ත්වයක් රටේ කිසිදු දිනක ඇතිවෙලා නැහැ. පෙනෙන මානයේ විසඳුමක් නැති තැනකට රට පත්කරලා තිබෙනවා.අපි හරියට කළා.ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස මම කටයුතු කරත්දී ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කරලා විදුලි බිල අඩු කළා.විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 2000 කින් ලාභ කළා.ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්ට්‍රල්,ඩීසල්,භූමිතෙල් වල බදු අයින් කරලා එය මූල්‍ය වශයෙන් ශක්තිමත් කළා.අපි බුද්ධිමත් ක්‍රියාශීලි මණ්ඩලයක් යටතට ආයතනය බාරදීම මගින් තමයි මේ ඉලක්ක ජයගත්තේ.පහත් පෙළේ නූගත් උද්දච්ච පිරිසකගේ පාලනයෙන් මේ ආයතන මුදවා ගෙන බාරකාර මණ්ඩලයක් යටතට පත්කළ යුතුයි.

රටේම නීතියේ ආධිපත්‍යය විනාශ වෙලා තිබෙන්නේ.පොලීසිය අයි.ආර්.සී රැලක් මෙහෙයවන තැනක් බවට පත්වෙලා.කුප්‍රකට නිලධාරීන් කිහිපදෙනක් සමස්ත පොලීසියේම ගෞරවය හෑල්ලුවට ලක්කර තිබෙනවා.අනෙක් පසින් නීතිපති දෙපාර්තුමේන්තුව හෑල්ලුවට ලක්වෙලා. තමන්ම දාපු නඩු තමන්ම ඉවත්කර ගැනීම නිසා සමහරු නිදොස් කොට නිදහස් වෙනවා.විසිවන සංශෝධනය මගින් විනිසුරුවරු පත් කිරීමේ බලය ජනපති අතට ගැනීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය උදුරාගෙන තිබෙනවා.මේ තත්ත්වය යටතේ නීතියේ ආධිපත්‍යය ගිලිහිලා රට විහිළුවකට ලක්වෙලා.එල්.ටී.ටී.ඊ කාලයේ ඇතිවූ ප්‍රශ්න වලට වඩා බරපතල මානව හිමිකම් ප්‍රශ්න සිදුවෙමින් තිබෙනවා.මේ පසුබිම තුළ රට සම්බන්දව ලෝක අවධානය යොමුවීම වැලැක්විය නොහැකියි. කර්මාන්ත ශාලා වැසීගෙන යනවා.එක පැයක් විදුලිය කැපීමෙන් විදුලි බල මණ්ඩලයට ලැබෙන ලාභය වගේ දසගුණයක පාඩුවක් ඒ නිසා ආර්ථිකයට සිදුවෙනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *