ඉදිරි කාර්තු දෙක සඳහා ප්‍රමාදයකින් තොරව ඖෂධ මිලදී ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඖෂධ අවශ්‍යතාවය, නිර්දේශීත ඖෂධ වර්ග සහ සැපයුම් කරන රටවල් වැනි කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් තීරණවලට එළැඹ ඇතැයි අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (03)  පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

වසංගත තත්ත්වය හා ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ හිගයක් මතුවිය හැකි බැවින් ප්‍රමාදයකින් තොරව සැපයුම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව  සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඖෂධ මිලදී ගැනීම් සඳහා අදාල ඇස්තමේන්තු සකස් කර ඇතැයි කී අමාත්‍යවරයා, ප්‍රමාදයකින් තොරව මිලදී ගැනීමට අදාල රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. ඒ අනුව තානාපති කාර්යාල ඔස්සේ ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධීකරණය කළ හැකි යැයි ද ඒ මහතා අවධාරණය කළේය.

විවිධ මිල ගණන් වලට පැරසිටමෝල් අලෙවි කිරීම නිසා පාරිභෝගිකයන් අසීරුතාවට පත්වීම වැළැක්වීම සඳහා මිල පාලනයක් කළ බවත් මින් ඉදිරියට අධික මිල ගණන් ඔස්සේ එම පෙති අලෙවි කිරීමට අවසර නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වසංගත තත්ත්වය සමඟ පැනවූ දැඩි නීති රීති ඉදිරියේදී ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *