මහනුවර හක්කිඳ දූපත් ආශ්‍රිත පාරිසරික ආරක්ෂක කළාපයේ හෝටලයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටවයි – මහනුවර වාර්තාකරු

????????????????????????????????????

මහනුවර වරතැන්න හක්කිඳ දූපත් ආශ්‍රිත පාරිසරික ආරක්ෂක කළාපය තුළ විශාල පරිසර හානියක් ඇතිවනසේ ඉදිකරමින් තිබූ හෝටලයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් එම්.ෆරීක්ඩීන් මහතා  (03) නියෝග කළේය.

මහනුවර දෙවන රාජසිංහ මාවතේ වයිනොට් ගාර්ඩ්න් හෝටලයේ හිමිකරුට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2022 ජනවාරී මස 13 දින නඩුව පවරා තිබුණේ හක්කිඳ පාරිසරික කළපය තුළ අනවසර ඉදිකරීම් හා සංවර්ධන කටයුතු සිදුකරන බවට චෝදනා කරමිනි.

ජෛව විවිධත්වයට හානිවන සේ අදාළ ස්ථානයේ විශාල පරිසර විනාශහයක් සිදුවන බවට මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු තොරතුරු හා පැමිණිලි අනුව එම නිලධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂණයක නිරත වීමෙන් පසු අදාළ ව්‍යාපාරිකයාට ඉදිකිරීම් නතර කරන ලෙස දැනුම් දී තිබිණි.මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග වලට පටහැනිව යමින් වයිනොට් ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු අබලි ද්‍රව්‍යය දමා ගඟ ගොඩකර ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අඛන්ඩව සිදු කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී වැලිකන්න මහතාගේ උපදෙස් මත ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය.

මාර්තු මස 24 දින නඩුව කැඳවීමට දින නියමව තිබියදී විත්තිකරු හෝටලයේ ඉදිකිරීම් එලෙසම පවත්වාගෙන යාම නිසා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෝෂමක් මගින් ජනවාරී මස 27 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු නඩුව පෙබරවාරී මස 10 වැනි කැඳවනු ලැබීය.එහිදී මධ්‍යම පරිසර අධිකාරිය අදාළ ඉදිකරීම් නතර කරන ලෙස දන්වා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළේය.පෙත්සම් හා දිව්රුම් ප්‍රකාශ මගින් කරුණු ඉදිරිපත් කර අදාළ තහනම් නියෝගය ඉල්ලා සිටින ලෙස මහේත්‍රාත්වරයා කළ දැනුම් දීමට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලක්මිණි මිහිඳුකුල මහත්මිය ඊයේ (03) අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.

වරාතැන්න පාරිසරික ආරක්ෂක කලාපය සඳහා නිකුත් කළ ගැසට් පත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් විත්තිකරු සිදුකරන පරිසර විනාශය සම්බන්ධව ඇය කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසු තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා විරෝධතා ඇත්නම් අප්‍රේල් මස 28 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මහත්වරුන්ට නියෝග කළේය.

නඩුවට ඇතුළු වීම සඳහා පරිසර සංවිධාන දෙකක් විසින් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මධ්‍යම පරිසර අධිකාරිය නඩුව පවරා පවත්වාගෙන යන බැවින් ඔවුන්ට සාක්කිකරුවන් ලෙස නඩුවට ඉදිරිපත් කළ හැකි බව දැනුම් දුන්නේය.

????????????????????????????????????
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *