ජාත්‍යන්තර රෝදපුටු දිනය නිමිත්තෙන් “රෝදපාද චාරිකාව”ට ඔබත් එන්න – රෝද පුටුවේ වාරුවෙන් දිවිගෙවන පුරවැසියෝ – මෙලනි මානෙල් පෙරේරා

ජාත්‍යන්තර රෝදපුටු දිනය වාර්ෂිකව මාර්තු 01 වන දින සමරනු ලබයි. මෙවර, ශ්‍රී ලංකාවේද “ජාත්‍යන්තර රෝදපුටු දිනය”, “රෝදපාද චාරිකා” යන තේමාව ඔස්සේ සමරන්නට සැළසුම්කර ඇති බව “අයිතීන් උදෙසා අපි” සංවිධානයේ සභාපතිනී නිශා ෂරීෆ් ප්‍රකාශ කරයි.
මෙම දිනය, විවිධ හේතුන් මත දෙපයින් ගමන්කරන්නට නොහැකිව, රෝදපුටුවේ සහය ලබාගනිමින් ජීවිත ගතකරන්නට සිදුව ඇති ආබාධ සහිත පුද්ගලයින් , රෝදපුටුව ඔවුන්ගේ ජීවිතයට කරන ධනාත්මක බලපෑම සමරන විට, ඒ හා සම්බන්ධව ලොව පුරා සිදුවන සිදුවීම් සහ ක්‍රියාකාරකම් සැමරීමේ වාර්ෂික දිනය ලෙසට සළකනු ලබයි.
2008 දී ප්‍රථම වරට “ජාත්‍යන්තර රෝදපුටු දිනය” ආරම්භකර ඇති අතර, ඕස්ට්‍රේලියාව, නේපාලය, සෙනගල්, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල මෙම සැමරුම් සිදු කර ඇත.
“අද මාර්තු 01 වෙනිදා, අපේ දවස වුනත් ලංකාවේ අද දවස නිවාඩු දවසක් නිසා රජයේ නිළධාරීන් හමුවීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපේ වැඩසටහන් අපි හෙට මාර්තු 02 වෙනිදා අපේ ජාලයේ සම්බන්ධතා තිබෙන දිස්ත්‍රික්ක කිහිපයකදී පවත්වන්නටසැළසුම් කරලා තියෙනවා.”යැයි “අයිතීන් උදෙසා අපි” සංවිධානයේ සභාපතිනී නිශා ෂරීෆ් සඳහන් කළේය.
මහනුවර, කුරුණෑගල, පුත්තලම, කොළඹ, මාතර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06කදී හෙට පෙරවරු 8.30 ට “රෝදපාද චාරිකා” සැමරුම් වැඩසටහන ආරම්භකරන බව පවසන ඇය, “අපි ආරම්භකරන ස්ථානවල ඉඳාලා කි.මී. එකකට වඩා රෝදපුටු වලින් ගමන් කරලා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, කොළඹ නම් ජනාධිපති ලේකම් කාර්යාලයටත් ගිහිල්ලා අපේ සංදේශ භාරදෙන්නට සැළසුම් කරලා තියෙන්නේ.”
මහනුවර දිස්ත්‍රික් රෝදපාද චාරිකාව, මහනුවර පොදු වෙළෙඳපොල අසළින් ආරම්භ කර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද, කුරුණෑගල දිස්ත්‍රික් රෝදපාද චාරිකාව ඔරලෝසු කණුව අසළින් ආරම්භකර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද, පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාව කලපුව අසළ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද, කොළඹ දිස්ත්‍රික් චාරිකාව ගෝල්ෆේස් පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද , මාතර දිස්ත්‍රික් චාරිකාව නගර මද්ධ්‍යයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද, මොණරාගල දිස්ත්‍රික් චාරිකාව ප්‍රධාන බස්නැවතුම් පොළේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද ගමන්කරන්නට සැළසුම් කර ඇත.
සියලු ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් , අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු වගකිව යුතු නිළධාරීන් වෙතට භාරදීමට සැළසුම්කර ඇති මෙම සංදේශය, රෝදපුටුවෙන් ගමන් ගන්නා, රෝදපුටුවට ම සීමා වී සිටින ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳව පමණක් නොව, විවිධ ආබාධ සහිත පුද්ගලයින් වසර ගණනාවක් තුළ ඉල්ලා සිටි ඉල්ලීම්, ඔවුන් තවමත් මුහුණදෙමින් සිටින විවිධ ගැටලු, ප්‍රශ්න සම්බන්ධයෙන් නැවත වතාවක් සිහිගන්වමින් සකස්කර ඇති බව ද නීෂා ෂරීෆ් පැවසීය.
ලංකාවේ ජනගහනයෙන් සියයට 8.7 ක් යම්කිසි ආබාධිත තත්ත්වයකින් පෙළෙනවා. ආබාධිත පුද්ගලයින්ගෙන් සියයට 57ක් පිරිමි වන අතර, සියයට 43ක් කාන්තාවන් ය.
2007 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 160 ක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා එකගතාවය පළ කරමින් ප්‍රඥප්තියකට අත්සන් තබා තිබෙනවා. නමුත් මෙම එකගතාවයෙන් වසර 15 ක් ඉක්මවා ගොස් තිබුණ ද, ශ්‍රි ලංකාව තුළ තවමත් එය නීතියක් බවට පත් වී අපේක්‍ෂා කළ කාරණා ඉටුවී නොමැති වීම කණගාටුවට කරුණක් බව ආබාධ සහිත පුද්ගලයින්ගේ අදහසයි.
ජාත්‍යන්තර රෝදපුටු දිනයේ පරමාර්ථය වි ඇත්තේ, රෝද පුටු භාවිතා කරන්නන්ට රෝද පුටුවක් ඔවුන්ගේ ජීවිතයට කරන ධනාත්මක බලපෑම සැමරීමට ඉඩකඩ සැළසීම, රෝද පුටු සපයන, රෝද පුටු භාවිතා කරන්නන්ට සහය සහ රැකවරණය සපයන සහ සංචලනය ගැටළු ඇති පුද්ගලයින් සඳහා ලෝකය වඩා හොඳ සහ වඩාත් ප්‍රවේශ විය හැකි ස්ථානයක් බවට පත් කරන මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ විශිෂ්ට කාර්යය සැමරීම සඳහාත්, රෝද පුටුවක් අවශ්‍ය නමුත් එකක් ලබා ගැනීමට නොහැකි පුද්ගලයින් මිලියන දස දහස් ගණනක් ලොව සිටින බව පිළිගැනීමට සහ ඊට නිර්මාණාත්මකව ප්‍රතිචාර දැක්වීමට යන කාරණ වෙනුවෙනි.