පාසල් වාරය දිගු වෙයි! අලුත් පාසල් වාරය මැයි සිට

මෙම 2021 වසර තුළ පාසල් නොපැවැත්වීම නිසා සමස්ත පාසල්හි අධ්‍යයන පාඩුව 60% වන අතර එය බස්නාහිර පළාතේ 90% කි. අනිකුත් පළාත්වල 60% කි. මේ අනුව දැනට ආරම්භ කර ඇති පාසල් අවසාන වාරය 2022 මාර්තු 31 වැනි දායින් අවසන් කර, නව පාසල් වාරය ලබන වසරේ මැයි මාසයේදී පමණ ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
මෙම තොරතුරු අනාවරණය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර යෝජනා මාලාවකිනි. මේ පිළිබඳ කළ විමසීමකදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයරත්න නවරත්න සිළුමිණට කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් 2021 වසරේ මාස 7කට ආසන්න කාලයක් පාසල් වසා දැමුණු අතර එය ජාතික අධයාපන ගණනය කිරීම්වලට අනුව මෙම තොරතුරු හෙළි වූ බවයි.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ සෑම විෂයකම ආවරණය විය යුතු අත්‍යවශ්‍ය විෂය කොටස් හඳුනාගෙන ඇති බවත් ඒවා පමණක් ඉදිරි කාලය තුළ ඉගැන්වීමට පාසල්වලට උපදෙස් දුන් බවය. මේ අනුව පාසල් වාර අවසන් වන දින වකවානු විභාග කාල සටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරි සති කිහිපය තුළ තීරණය කරනු ඇත.