ශ්‍රී පාද වන්දනාවට එන බැතිමතුන් සුරා ගෙන කන වෙළෙදුන් – හැටන් චන්දන ජයවීර

නල්ලතන්නිය හා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි ඇතැම් ආපනශාලා සහ වෙළඳසල් හිමියන් විසින් ශ්‍රීපාද වන්දනාකරුවන්ට අධික මිළ ගණන්වලට ආහාර පාන අලෙවි කිරිම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එම වන්දනාකරුවෝ පැවසූහ.
මෙම ආපන ශාලා හා වෙළඳසල් හිමියන් විසින් පාලන මිළකින් තොරව ආහාර හා භාණ්ඩ අලෙවි කරන බවත්, මිළ ගණන් නොවිමසා ආහාර අනුභවයෙන් පසුව මුදල් ගෙවීම් සිදු කරන අවස්ථාවේ මෙම කූඨ ව්‍යාපාරිකයින් හිතූ හිතූ මිළ ගණන් පැවසීමෙන් තමන් අසරණවන බව එම වන්දනාකරුවෝ පෙන්වා දෙති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන වන්දනාකරුවන්ට පාලන මිළකින් තොරව ඇතැම් ව්‍යාපාරිකයින් විසින් සිදු කරන මෙම ක්‍රියාව නිසා සාධාරණ ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරතවන තමන්ගේ කීර්ති නාමයට කැළලක් සිදුවන බවත්, මෙවැනි අවස්ථාවාදී කූඨ ව්‍යාපාරිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ ඉක්මන් අවධානය යොමු විය යුතු බවත් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ව්‍යාපාරික ප්‍රජාව හා වන්දනාකරුවෝ ඉල්ලා සිටිති.