පාසල් දරුවන් මත්කළ නුවර ව්‍යාපාරිකයා අත්අඩංගුවට _ මහනුවර වාර්තාකරු

මහනුවර නගරයේ පෞද්ගලික පන්ති වලට සහභාගි වීමට පැමිණෙන පාසල් ළමුන්ට මත්පෙති අළෙවි කළ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඖෂධ අළෙවි සැළක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ  (26) මත්පෙති 3000 ක් සහ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 07 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඖෂධ අළෙවි සැළ මගින් පාසල් සිසුන්ට මත්කුඩු හා මත්පෙති අළෙවි කරන බවට විදුහල්පතිවරු,ගුරුවරු,දෙමව්පිය සංගම් විසින් පෙත්සම් 13 ක් පොලීසියට යොමුකර තිබී ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මෙම පුද්ගලයාගෙන් මත්පෙති මිලට ගැනීමට සලස්වමින් ඔහු අත්අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කළ බව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ මහතා කීය.
මත්පෙති ලබා ගැනීම සඳහා ඖෂධ අළෙවි සැළට ගියවිට සැකකරු එහිදී මත්පෙති අළෙවි නොකරණ බවත් මුදල් ලබා ගැනීමෙන් පසු දුරතකන ඇමැතුමක් ලබාදී ඒවා වෙනත් ස්ථානයකදී ගැනුම්කරුවන්ට ලබාදෙන බවත් පොලීසිය පවසයි.
මේ හේතුවෙන් මත්පෙති සමඟ මොහු අත්අඩංගුවට ගැනීම අසීරු වූ බවත් මාස තුනක පමණ කාලයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් බන්දුල විතානගමගේ මහතා පැවසුවේය.
නෝට්ටු අංක සටහන් කරගත් රුපියල් 60000.00 ක මුදලක් උපාය දූතයාට ලබාදී ඒවා උපයෝගි කර ගනිමින් මත්පෙති මිලට ගැනීමට සැලැස්වූ බවත් මහනුවර දොඩංවල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබී මත්කුඩු ග්රෑම් 07 ක් සොයාගත් වත් පොලීසිය පවසයි.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක දසනායක,උප පොලිස් පරීක්ෂක බණ්ඩාර,පොලිස් සැරයන්වරුන් වන 6588 දිසානායක,64803 කපිලරත්න,කාන්තා පොලිස් සැරයන් 3818 මංජුලා,පොලිස් කොස්තාපල්වරුන් වන 37661 වික්‍රමසිංහ,35483 යාපා බණ්ඩාර,74182 තරංග,87865 කණිෂ්ක,93406 ඒකනායක,96319 බණ්ඩාර යන නිලධාරීන් සමඟ යුද හමුදා බුද්ධි අංශයේ 15 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වී තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *