ලංකාවේ ජනගහනයෙන් අඩකට ගෞරව සම්මාන – මහනුවර වාර්තාකරු

විවිධ ආයතන මගින් ගෞරව නාම සම්මාන ලබාදෙන ආකාරය අනුව ඉතා නුදුරේදීම මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා ගෞරව සම්මාන ලාභීන් වනු ඇතැයි අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.
අද ගෞරව ලබන බොහෝ අය ඊට සුදුසුද කියන ප්‍රශ්නය මතුවන බවද උන්වහන්සේ කීහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.බී.හේරත් මහතාට සහ ජපානයේ තෝකියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නත්සුරු අකිමොටො මහතාට උපහාර දැක්වීම නිමිත්තෙන් (22) මහනුවරදී පැවැති උත්සවයකදී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා වන අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණි.
එහිදී උන්වහන්සේ මෙසේද කීහ.අද මේ රටේ විවිධ ආයතන මගින් ගෞරව නාම සම්මාන උපහාර දෙන උත්සව පවත්වනවා. සුදුසුකම් ඇති පුද්ගලයින්ටද මේ ගෞරව නාම ලබා දෙන්නේ කියන සැකය,කුතුහලය අපි හැමෝටම තිබෙනවා. විවිධ චෝදනාවලට ලක්වූ වංචනිකයින්, දූෂිතයින්ද මුදල් වැයකර මේ ගෞරව නාම ලබා ගන්නවා. පෙර කළ මෙවන් ගෞරව නාම ලබා දුන්නේ සුදුස්සාට පමණයි. අදවන විට නුසුදුසු අයත් මේ සම්මාන ලැබීම නිසා ගෞරව නාමයන්හි සැබෑ වටිනාකම නැතිවී තිබෙනවා.මහාචාර්ය හේරත් වැනි ගල් පිළිම උදෙසා උපහාරය පුද කිරීම අපි අගය කරනවා.
ගල් පිළිම යටපත්වී බොල් පිළිම ඉස්මතුවන කණගාටුදායක වාතාවරණයක් රටේ ඉස්මතු වෙමින් පවතිනවා.අද බොහෝ විට දක්නට ලැබෙන දෙයක් තමයි උපහාරයක් දෙනවා නම් එය කරන්නේ මරණයට පත්වූ පසුවයි. ජීවත්ව සිටියදී කෙනෙක්ට කළ සේවයට උපහාර පිදීම අද අවම තත්ත්වයකට පත්වෙලා. මහාචාර්ය හේරත් මහතා විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ මෙන්ම විශ්‍රාම ගිය පසුවද රට, ජාතිය ආගම වෙනුවෙන් විශාල සේවයක් කළා. ඒ මහතා සිංහල බෞද්ධාගම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටිමින් කළ සේවය විශිෂ්ඨයි. එතුමාගේ සේවය ආගමික, සංස්කෘතික,සමාජයීය හා අධ්‍යාපන වශයෙන් පුළුල් පරාසයක් කරා විහිදී පැතිරෙනවා. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මහචාර්යවරයා කළ මහඟු සේවය ඇගයීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සැමගේ යුතුකමක්.
මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන්ද මෙහිදී අනුශාසනාවක් කළහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මහාචාර්ය හේරත් හා මහාචාර්ය අකිමොටො වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සමරු මුද්දරය හා මුල් දින කවරය මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන්ට සහ ආරාධිතයෝ වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කළහ.