ලූලා නැති වලට කනයා පණ්ඩිතයා …රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගමගෙන් බරපතල ප්‍රකාශයක් – මහනුවර වාර්තාකරු

කොවිඩ් හමුවේ මුහුණ දීමට සිදුවූ අභියෝග හමුවේ පැන නැගුණු අර්බුද ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව තුළ සිටි ඇතැම් හවුල්කාර පක්ෂ තමන්ගේ පක්ෂ ගොඩනැගීමේ කටයුතු සිදුකළ බවත් මෙය අඟේ සිට කන කෑමට සමාන ක්‍රියාවලියක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
කාබනික වගාව රටේ ප්‍රචලිත කිරීම සඳහා සත් භාවයෙන් යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හමුවේ පොහොර හිඟයක් රටේ ඇතිවත්දී ගොවි උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙමින් පක්ෂ ගොඩනැගීමට ඇතමුන් ක්‍රියාකළ බවත් මෙය ආණ්ඩුවේ සාමුහිකත්වයට විශාල බාධාවක් වූ බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙංකඩගල ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (21) පැවැති අවස්ථාවේ අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියනමක් තිබෙනවා.දේශපාලනික වශයෙන් අතරමං වෙලා හිටපු සමහර කනයෝ මහ මැතිවරණයේදී අපිත් එක්ක එල්ලුනා. දැන් උන් පණ්ඩිතයෝ වෙලා. කුඹුරක් පැත්ත පළාතේ ගියේ නැති අය පොහොර ප්‍රශ්නේ වෙලාවේ කුඹුරු ගානේ ගියා.තමන්ගේ කාලයේ කතෝලික පල්ලි අස්සේ බෝම්බ පිපිරෙනකොට හොයා ගන්න බැරිවූ අය අද පණ්ඩිතයෝ වෙලා.

ආණ්ඩුව නියෝජනය කරනවා නම් සාමුහිකත්වය රැකිය යුතුයි.කොවිඩ් අර්බුදය හමුවේ රටේ යම් යම් ප්‍රශ්න ඇතිව තිබෙනවා.ඩොලර් හිඟයත් එක්ක තෙල් අර්බුදයක් ඇති වෙලා.විදුලි කප්පාදුවක් කරන්න වෙලා.මේ ප්‍රශ්න විවේචනය කරමින් ආණ්ඩුව තුළ ඉන්න අය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරනවා.අර්බුද ප්‍රයෝජනයට අරන් තමන් ගොඩයන්න උත්සහ කරනවා නම් ඒක වැරදියි.අඟේ ඉඳන් කන කනවා කියන්නේ මේකටයි.කන හපාකන බව දැන දැනම අපි නොදන්නවා වගේ ඉන්නවා.නමුත් මේ අය දැන ගන්න ඕන අපි මේක දැනගෙන තාමත් නිහඬව ඉන්නවා කියන කාරනය.

සෞභාග්‍යයේ දැක්ම සකස් කරන විට කොවිඩ් අර්බුදයක් පිළිබඳ සේයාවක් හෝ තිබුණේ නැහැ.අති විශාල මුදලක් වැය කරලා කොවිඩ් එන්නත ගේන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ.කොවිඩ් නිසා නොහිතපු අර්බුද රැසක් ආවා.ඒවාට සාර්ථකව මුහුණ දී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් වුණා.විදේශ සංචාරකයින් නොපැමිණීම නිසා රටේ ආදායම් නැති වුණා.විදේශ රටවල සේවය කළ ලක්ෂ 12 ක් ලංකාවට ආවා.ඔවුන් ගෙන් රටට ලැබෙන ඩොලර් අහිමිවී ගියා.ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යාම අපිට තදින් දැණුනා.මේ සියල්ල මැද ආර්ථිකය හසුරුවා ගැනීම බරපතල ගැටලුවක් වෙත්දී බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිකම බාර ගනිමින් ආර්ථිකය යළි ගොඩනගන්න පියවර ගත්තා.මේ වගේ අවධානම් අවස්ථාවක වෙන කවුරුවත් මුදල් ඇමැතිකම බාර ගන්නේ නැහැ.ඒක ඒ තරමටම අවධානමක්.මේවන විට සංචාරකයින් රටට එනවා.අපේ අපනයන ආදායමත් සැලිකිය යුතු ලෙස ඉහළ යනවා.මේ අර්බුද වලින් ඉතාම කෙටි කාලයකදී අපිට ගොඩ එන්න පුළුවන්.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *