දේශීය ව්‍යවසායකයින්ට ජනපතිගෙන් ඇරයුම්… හංසලි උමාදී

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කර සිටියි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ දින පැවති සාකච්ජාවේදී යි.

සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබෙයි.

විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන බව ජනාධිපතිවරයා  සඳහන් කරන ලදී

දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිවරයා  ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව ද  සඳහන් කර සිටී.

ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සඳහන් කර තිබෙයි.

එමෙන්ම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රැසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටී.

අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබේ.

රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත්, ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය  හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇණවුම් විශාල ප්‍රමාණයක්
ශ්‍රී ලංකාවට හිමි වූ බව ඔවුන් පෙන්වා දී ඇත.

කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ. එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයන් සඳහන් කර තිබෙයි.

අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගතවීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකරදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයන් ජනාධිපතිවරයාගෙන්  ඉල්ලීමක් කර ඇත .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *