ය්හපාලන ආණ්ඩුවේ නියාලු නායකයන් නැවත දේශපාලනය කරන්න හදනවා _ ඇමති පියල් නිශාන්ත කියයි – මහනුවර වාර්තාකරු

පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත යුතු යහපාලන ආණ්ඩුවේ නිවට නියාලු නායකයෝ අද සිංහ හම් පොරාවාගෙන යළිත් දේශපාලනය කරන්න සූදානම් වන බවත් ඔවුන්ට ඉතා කෙටි කාලයකදී ජනතාව නියම පිළිතුරු ලබා දෙනු ඇති බවත් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල්,ප්‍රාථමික අධ්‍යාපන සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත මහතා පවසයි.
තමන්ගේ පාලන සමයේ සිදුවූ දැවැන්ත අපරාධයෙන් ගැලවී අත් පිසදමා ගන්නට යහ පාලන ආණ්ඩුවේ නායකයින්ට නොහැකි බවත් අද ඔවුන් හැසිරෙමින් සිටින්නේ තොත්ත බබාලා මෙන් බවත් ඒ මහතා කීය.
මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනඥයින්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා පෙරේදා (19) මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.උත්සවය මහනුවර උඩරට කලා සංගම් ශාලවේදී පැවැත්විණි.එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.යහ පලාන ආණ්ඩුව කාලේ සිදුවූ මේ දැවැන්ත අපරාධයට ඒ ආණ්ඩුවේ සියලු දෙනා වග කියන්න ඕන. බොරුවට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා ඇඟ බේරා ගන්න කාටවත් බැහැ. ලේ විලක් මැද මියගිය අය දෙස ඇහැක් ඇරලා නොබලපු නිවට නියාලු නායකයෝ සිංහ හම් පොරවගෙන නැවත මේ රටේ දේශපාලනය කරන්න හදනවා නම් ජනතාව ඒකට නිසි පිළිතුරු ස්ථිර ලෙසම ලබාදේවි.
විපක්ෂයේ අය හිතගෙන ඉන්නේ මේ ආණ්ඩුව නෝන්ජල් කියලා.ජනතා ආණ්ඩුවේ දේශපාලනඥයින්ව ප්‍රතික්ෂේප කරලා ඔවුන්ට ගමට යන්න බැහැ කියලා විපක්ෂය මතයක් ගොඩනගන්න උත්සහ කරනවා.අපි අනුරාධපුරයේ ජනහමුවක් පවත්වලා මේ බොරු ප්‍රචාරවලට පිළිතුරු දුන්නා.ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් තිබෙන බව එහිදී පැහැදිලිව පෙණුනා.පටු දේශපාලන වාසි සඳහා ජනතාවට වැරදි මත කාවද්දන්න හදන විපක්ෂයේ වැඩපිළිවෙළ අපි පරාජය කරනවා.ඉදිරි වසර තුනක කාලය තුළ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න අපි කැපවී ක්‍රියා කරනවා.
ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරු දෙන්නෙක් අතර ඇතිවූ ගැටුම ආණ්ඩුවේ ගැටුමක් ලෙස අර්ථකතනය කරන්න බැහැ.ගව ගාලක ගවයෝ දෙන්නෙක් ගාල කඩාගෙන ගියාට සියලුම ගවයින්ට චෝදනා කරන්න බැහැ. මාධ්‍ය ආයතන ගත්තොත් සැබෑ ලෙස මාධ්‍ය සදාචාරය ක්‍රියාත්මක කරන ආයතන කීයද තිබෙන්නේ.මාධ්‍ය සදාචාරයට විරුද්ධව වැඩ කරන ආයතන දෙක තුනක් නැද්ද? එහෙම කියලා අපි හැම මාධ්‍ය ආයතනයටම චෝදනා කරනවාද?.තම තමන්ට තිබෙන වගකීම් හා යුතුකම් රට වෙනුවෙන් ඉටුකරන එක තමයි වැදගත්.පෞද්ගික මතවාද වැඩක් නැහැ.පොදු මතවාදයක් ඔස්සේ රට ගොඩනගන්න ඕන.