පසුගිය රජයේ හොරු දැන් සමගියේ – ලාල් කාන්ත කියයි – මහනුවර වාර්තාකරු

පසුගිය ආණ්ඩු සමයේ හොරකමට වංචාවට දූෂණයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් සමගි ජන බලවේග ඉහළ මණ්ඩලය නියෝජනය කරන බවත් ඔවුන් වේදිකාවේ තබාගෙන වංචාවෙන්,දූෂණයෙන් තොර පාලනයක් ඇතිකරන බවට ඔවුන් කරන ප්‍රකාශ ජනතාව පිළිනොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි.
මෙම චෝදනා ලද පිරිස පක්ෂයෙන් ඉවත් කළහොත් සමගි ජනබලවේගයේ ඉහළ මණ්ඩලයේ ඉතිරි වන්නේ අතලොස්සක් පමණක් බවද ඒ මහතා කීය.
මහනුවරදී (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.
සමගි ජන බලවේගය වේදිකාවේ ඉන්නේ කවුද කියලා ජනතාව ඇස් ඇරලා බැලිය යුතුයි.වංචාවෙන් දූෂණයෙන් සොරකමෙන් තොර පාලනයක් ඇති කරන්න නම් එහි නායකත්වය විසින් මුලින් පක්ෂය සුද්ධ කරගෙන ඉන්න ඕන.ජනතා දේපොළ කොල්ල කෑ බවට චෝදනා ලත් ඇමැතිවරු, දිස්ත්‍රික් නායකයෝ සැලකිය යුතු පිරිසක් එම කණ්ඩායමේ ඉන්නවා. මේ සම්බන්ධ චෝදනා නොලැබූ අය සුළු පිරිසක් ඉන්නවා.ඒ අයට ඒ ව්‍යාපාරයේ තැනක් ඇත්තේ නැහැ.වංචා දූෂණයට සම්බන්ධ අය වේදිකාවේ තබාගෙන එසේ නොවන පාලනයක් ඇති කරන බවට කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම් ඒක විශ්වාස කරන්න පුළුවන්ද?. හරි නායකයෙක් නම් ආණ්ඩුවක් හදන්න කිලින් පක්ෂය සුද්ද කරගෙන ඉන්න ඕන.

තෙල් අර්බුදය කියන්නේ මේ පවතින අර්බුදයේ ගැඹුර පෙන්වන එක අර්බුදයක් විතරයි.එක වෙලාවකට විදුලි අර්බුදය,තවත් වෙලාවකට ගෑස් අර්බුදය,තවත් වෙලාවකට සිමෙන්ති අර්බුදය.පවතින ඩොලර් ප්‍රශ්නයෙන් බේරෙන්න ආණ්ඩුව රටවල් වලින් හිඟා කනවා.මේක 78 න් පස්ස් ආපු පාලකයෝ අරන් ගිය මංකොල්ලකාරී වැඩපිළිවෙළ තුළින් මතුවූ තත්ත්වයක්. රජය ආර්ථික කටයුතු වලින් ඉවත් වීම,පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පාලකයෝ මමත්වයෙන් කටයුතු කිරීම ඇතුළු හේතු ගණනාවක් මේකට බලපා තිබෙනවා.විදුලි අර්බුදය,තෙල් අර්බුදය අපි තනි තනිව විග්‍රහ නොකළ යුතුයි.මේ පාලකයින් මගින් මේකට විසඳුම් සොයන්න බැහැ.තනි තනි සිද්ධි ඒ වෙලාවට පමණක් හුවා දැක්වීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ.ජාතික ජනබලවේගය ලෙස විශාල පිරිසක් එකතු කරගෙන සියලු දෙනාට එකතුවිය හැකි වේදිකාවක් ගොඩනගා තිබෙනවා.විවේචනයෙන් එහා ගිය වැඩපිළිවෙළක් සහිත එකම දේශපාලන ව්‍යාපාරය අපියි.ජනතාව මේ රටේ ප්‍රශ්න වලට අලුත් උත්තරයක් සොයමින් ඉන්නේ.සමගි ජන බලවේගය කියන්නේ පරණ වයින් වෙනත් බෝතලයකට දාලා ගෙනාවා වාගේ වැඩක්.එමගින් සිදුවන්නේ ජනතාව රැවටීම විතරයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *