ආණ්ඩුව මර්ධනය නැවත ආරම්භ කරලා -ලාල් විජේනායක කියයි – මහනුවර වාර්තාකරු

මෙම ආණ්ඩුව මෙයට පෙර බලයේ සිටියදී ක්‍රියාත්මක වූ මර්දනය යළිත් ආරම්භ වී තිබෙන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් නොතකන රටක් ලෙස ජත්‍යන්තරය තුළ මාතවාදයක් ගොඩනැගීමට මෙම සිදුවීම් ප්‍රබල ලෙස හේතුවනු ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු,අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව 2015 ට පෙර බලයේ සිටියදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ බවත් ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වෙත්දී පෝද්දල ජයන්ත,උපාලි තෙන්නකොන්,කීති නොයාර් අයට පහරදීම් සිදුවූ බවත් කී ඒ මහතා මේවාට වගකිව යුතු කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම බරපතල ගැටලුවක් බවද අවධාරණය කළේය.
මහනුවරදී මාධ්‍ය හමුවෙක් පවත්මින් 15 දා විජේනායක මහතා මේ බව පැවසුවේය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය.මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදීම මේ රටේ භාෂණයේ නිදහසට එල්ල වූ ආසන්නතම ප්‍රහාරයයි.රජය විවේචනය කිරීමේ අයිතියක් ජනතාවට තිබෙනවා.මේ ප්‍රහාරය තුළින් ඉස්මතු කරන්න හදන්නේ රජය විවේචනය කරන අනෙක් අයටත් කරන අනතුරු ඇඟවීමක්ද කියන බරපතල සැකය අපට තිබෙනවා.මීට පෙර මේ පාලකයින්ම රට පාලනය කළ අවස්ථාවේ වූ සිදුවීම් ගණනාවක් අපට මතකයි.සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබුවා.සියත ආයතනයට ප්‍රහාරයක් එල්ල කළා.මේවාට වගකිය යුතු අය සොයාගන්න තාමත් බැරිවෙලා. සොයා ගන්න බැරිවෙලාද සොයන්නේ නැත්ද කියන කාරනය සම්බන්ධයෙන් අපිට බරපතල සැකයක් තිබෙනවා.සොයන්නේ නැත්නම් මේවා ආණ්ඩුවේම මැදිහත් වීම මත සිදුවූ ඒවා විය හැකි බවට නැගෙන තර්ක පහසුවෙන් බැහැර කළ නොහැකියි. තමන්ට එල්ල වන චෝදනා වලින් මිදෙන්න ආණ්ඩුව කළ යුත්තේ මේවාට වගකිය යුතු අය නීතිය හමුවට පැමිණවීමයි.එසේ නොවන්නේ නම් ඊට හේතුව කුමක්ද කියන කාරනය ඕනෑම අයෙකුට තේරුම්ගත හැකියි.මොකද මීට වඩා බරපතල සිදුවීම් ගැන පරීක්ෂණ කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථා තිබෙනවා.එසේ නම් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එල්ලවන ප්‍රහාර වලදී පමණක් ඊට වගකිය යුතු අය හඳුනා ගැනීමට නොහැකි වෙන්නේ ඇයි.

ජනතාවගේ මූලික අයිතවාසිකම්,මානව හිමිකම් කඩන රටක් ලෙස ජත්‍යන්තර වශයෙන් ප්‍රචාරය වෙනවා. අපිට ජත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභා ඉදිරිපිටට ගිමින් උත්තර දීගන්න බැරිවෙලා තියෙන්නේ මේවගේ සිදුවීම් නිසයි. රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැති වුණාම ආයෝජකයෝ එන්නේ නැහැ.සංචාරකයෝ එන්නේ නැහැ.මානව හිමිකම් කඩකරන රටක් ලෙස ජත්‍යන්තරය තුළ ප්‍රචලිත වෙනවා.මේක ආර්ථික,දේශපාලන හා සමාජීය වශයෙන් අර්බුදයක්.ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවකාශ තිබිය යුතුයි.ආර්ථික ප්‍රශ්නයට එකම විසඳුම වෙලා තියෙන්නේ රටේ සම්පත් විකිණීමයි.මේවා ගැන ජනතාව තුළ සාකක්ඡාවක් ඇතිවන විට ඒවා මර්දනය කිරීම තමයි මේ ඔස්සේ සිදු වන්නේ.රජය බාරයේ ඉන්න සිරකරුවෝ මරා දමනවා.මේක ජනතාවගේ ජීවත් වීමේ අයිතියට විශාල තර්ජනයක්.ජනතාව මේ ගැන හඬ නැගිය යුතුයි.ජනතාව නැගී සිටීමෙන් පමණයි මේක පරාජය කළ හැකි වන්නේ.නිවසේ කතා කරමින් නොසිට පාරට බැහැලා අපි මේකට විරෝධය දැක්විය යුතුයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *