තෙල්දෙණිය කිරි ගොවියට නිලධාරීන්ගෙන් ගුටි බැට -මහනුවර වාර්තාකරු

මහනුවර තෙල්දෙණිය පැරණි නගරයේ මාර්ග රක්ෂිතයක පර්චස් 20 ක භූමි ප්‍රමාණයක එළදෙනුන් 20 දෙනෙකු ගෙන් යුක්ත ගව ගාලක් පවත්වා ගෙන යන පාරම්පරික කිරි ගොවියෙකු වන මාරිමුත්ත චන්ද්‍රකුමාර් නැමැති අයට රජයේ නිලධාරීන්ගේ දිගින් දිගටම එල්ලවන අනිසි බලපෑම් හේතුවෙන් ඔහු කිරි ගොවි කර්මාන්තය අත්හරින තත්ත්වයට පත්ව ඇත.

දේශීය දියර කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා රජය මගින් ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන අවස්ථාවක තමන්ට කිරි ගොවිතැන එපා කරවන තත්ත්වයෙන් නිලධාරීන් හැසිරීම පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ඒ මහතා පවසයි.

වසර 40 ක පමණ කාලයක් කුණ්ඩසාලේ ආයෝජන කලාපය ආසන්නයේ රක්ෂිත ඉඩමක ගව ගාලක් පවත්වා ගෙන ගිය ඔහුට එම ස්ථානයෙන් මෙයට මාස හතරකට පෙර ඉවත් වීමට සිදුව තිබෙන්නේ එම ඉඩමට කාර්මික සංවර්ධන මණ්ඩලය අයිතිවාසිකම් කීම හේතුවෙනි.

ගවයින් 35 දෙනෙකු ගෙන් සමන්විත ගව පට්ටියද සමඟ එම ස්ථානයෙන් ඉවත්වූ ඔහු තෙල්දෙණිය පැරණි නගරයේ මාර්ග රක්ෂිතයක ගව ගාල ස්ථාපිත කර තිබෙන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ වාචික අවසරය පදනම් කර ගෙනය.

ඉතා අඩු පහසුකම් ඇති එම ස්ථානය වෙත පැමිණීමෙන් පසු තම ගව පට්ටියේ කිරි ගවයින් 09 දෙනෙකු හා පැටවුන් 05 දෙනෙකු මියගිය බව චන්ද්‍රකුමාර් මහතා කීය.

උසස් පෙළ සමත්ව වාණිජ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන පුතුද රැකියාවකට නොගොස් කිරි ගොවි කර්මාන්තයට යොමුවූ බවත් පවතින තත්ත්වය තුළ ඔහුද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඒ මහතා පැවසුවේය.

වර්ෂ 2006 දී මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මහනුවර දිස්ත්‍රික්කයේ හොඳම කිරි ගොවීන් තේරීමේ තරඟයේදී සම්මානයක් දිනා ගැනීමටද චන්ද්‍රකුමාර් මහතා සමත්ව ඇත.

හොඳම කිරි ගොවියෙකු ලෙස තේරී පත්වූ චන්ද්‍රකුමාර් මහතා එකළ දෛනිකව කිරි ලීටර් 100 ක් පමණ මිල්කෝ සමාගමට දුන් නමුත් අද ඔහුට දෛනිකව දෙනුන් ගෙන ලබා ගැනීමට හැකිව තිබෙන්නේ කිරි ලීටර් 50 කටත් අඩු ප්‍රමාණයකි.
තමන් කිරි ගොවි කර්මාන්තයට යොමුවුණේ කිරි ලීටරය ශත 30 ක මුදලට මිලදී ගත් කාල වකවානුවේ බවත් මුල් අවධියේ තම පවුලට කිරි හරක් 70 ක් පමණ සිටි බවත් චන්ද්‍රකුමාර් මහතා කීය.
දේශීය කිරි ගොවියා නගා සිටුවීම සඳහා ආණ්ඩුව කුමන අකාරයේ තීන්දු තීරණ ගත්තත් ඇතැම් නිලධාරීන් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්වීමට සහය නොදෙන බවත් මේ නිසා කිරි ආනයනය නොකළ අවධියේ තමිල්නාඩුවෙන් කිරි පැකට් එක පිනට දෙනකල් බලාගෙන ඉන්නට රටේ ජනතාවට සිදුවූ බවත් චන්ද්‍රකුමාර් මහතාගේ පුත් දේවරාජ් ප්‍රකාශ කාළේය.
ඡායාරූපයේ -චන්ද්‍රකුමාර් මහතා තම පුතු සමඟ අවම පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන යන කිරි ගොවිපොළ

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *