H I V ඇතුළු සමාජ රෝග පරීක්ෂණ නවතියි .- මහනුවර වාර්තාකරු

ගැබිණි සමයේ මව් වරුන්ට අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී (HIV) සහ වී.ඩී.ආර්.එල් (VDRL) පරීක්ෂණ මේවන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත් මේ නිසා මවගෙන් දරුවාට එච්.අයි.වී සහ උපදංශය වැනි රෝග ආසදනය වීම වැලක්වීම සඳහා මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බවත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති හා මාධ්‍ය ප්‍රකාශක,ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්.අයි.වී වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංසදයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා පවසයි.

එච්.අයි.වී වෛරසය සහ උපදංශය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත් බවත් ඒ අනුව 2025 වසරේදී ඒඩ්ස් සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීමේ ඉලක්කයක් ඇතිව සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වූ බවත් කී හතුරුසිංහ මහතා ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේවන විට අඩාල වී තිබෙන බවද අවධාරණය කළේය.

ජාතික මට්ටමේ දත්ත අනුව එච්.අයි.වී සහ වී.ඩී.ආර්.එල් පරීක්ෂණ ගැබිණි මව්වරුන් ගෙන් 95 % කට වැඩි සංඛ්‍යාවකට සිදුකර ශ්‍රී ලංකාව ජත්‍යන්තර මිණුම් දඬු වලට අනුව ඉතා ඉහළ තත්ත්වයක සිටියත් දැන් එය බරපතල කඩා වැටීමකට ලක්ව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
අදාළ පරීක්ෂණය දරු පිළිසිඳ ගැනීමක් සිදුව සති 14 ක් ගත වන්නට මත්තෙන් සිදුකළ යුතු බවත් එසේ කරනු ලබන්නේ යම් හෙයකින් එච්.අයි.වී සහ වී.ඩී.ආර්.එල් පරීක්ෂණ මගින් මවට ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබෙන බවට හඳුනා ගතහොත් දරුවාට ඉන් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිකාර කිරීමට කාලයක් අවශ්‍යය නිසා බවත් හතුරුසිංහ මහතා කීවේය.

පවතින ආර්ථික ගැටලු හේතුවෙන් ලිංගික වෙළෙඳාම සඳහා කාන්තාවන් යොමුවීම ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා අදාළ පරීක්ෂණ මව් වරුන්ට පමණක් නොව සැකසහිත ලිංගික හැසිරීමක නිරත වූ සියලු දෙනා සිදුකර ගැනීම අත්‍යවශ්‍යය කරුණක් බවට පත්ව තිබෙන බවත් ඒ මහතා කීය.

ඩොලර් අර්බුදය හේතුවෙන් අදාළ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් නොමැති වීමේ ප්‍රතිපලයක් ලෙස මවගෙන් දරුවාට එච්.අයි.වී සම්ප්‍රේෂණය වූ දරුවෙකු බිහි වුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය සැලකීමේදී රෝග වැලැක්වීමේ අංශයේ ප්‍රගතිය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන බවත් පවතින තත්ත්වය තුළ ලෝක මට්ටමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයට හිමිව තිබෙන ස්ථානය පහත වැටීමට ඉඩ තිබෙන බවත් ඒ මහතා කීය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *