සාගර තරංග වලට තිත තබන්නේ කවුද ? අනාවරණයක් – මහනුවර වාර්තාකරු

පුණර්ජනනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීමට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු සැළසුම් සහගතව කටයුතු කරමින් සිටින බව විදුලි පුණර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අසේල ධර්මසේන මහතා පවසයි.
මේවන විට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොමැති කමින් දෛනිකව සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් මෙම ගැටලුවෙන් ගොඩඒම සඳහා එකම විසඳුම පුණර්ජනනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කිරීමට යොමුවීම බවත් ඒ මහතා කීය.
මහනුවරදී අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ධර්මසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
සාගර තරංග,සුළං සහ හිරු එළිය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බවත් මෙම ස්වාභාවික සම්පත් තුනම අප රට සතු බවත් කී ඒ මහතා රටට මෙතරම් දරුණු තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ මේවායින් ප්‍රයෝජන නොගැනීම නිසා බවද අවධාරණය කළේය.
සූර්ය පැනල වහළ මත සවි කිරීම වෙනුවට පොළොව මත සවි කිරීම සඳහා වන වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් අක්කර 4000 ක පමණ භූමියක ගස් කපා ඉවත් කිරීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.
එක ගමකට එක විදුලි බලාගාරයක් නමින් විදුලි බල මණ්ඩලය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ට්‍රාන්ෆෝමර් 7000 ක් මේවන විට වෙන්කර තිබෙන බවත් කී ඒ මහතා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු ක්‍රියාත්මක කරන මාෆියාවට වැට බැඳිය යුතු බවද අවධාරණය කළේය.
පුණර්ජනනීය බලශක්තිය වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට 2019 වසරේ ආසියානු සංවර්ධන බැංකුව 4 % ක පොළියට ණයක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙරට බැංකු පද්ධතිය හරහා සිදුකළ බවත් මෙම ණය ලබා ගැනීමට විදුලි බල මණ්ලයේ පූර්ණ අනුමැතිය සහිත ලිපියක් අවශ්‍යය බවත් කී ඒ මහතා මණ්ඩලය මගින් එම ලිපිය නිකුත් නොකරන බවද පැවසුවේය.
තමන්ගේ මුදල් වැයකර සූර්ය පැනල සවිකර ගැනීමට පාරිභෝගිකයින් 3000 ක් පමණ විදුලි බල මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් ඔවුන් කිසිවෙකුටත් අදාළ අනුමැතිය නොදීම බරපතල ගැටලුවක් බවත් ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.
සංගමයේ සභාපති මහේෂ් ඉලංගන්තිලක හා ලේකම් භාතිය අමරකෝන් යන මහත්වරුද මෙහිදී කතා කළහ.