තලවකැලේ , ලිඳුල නගර සභාවට නව සභාපතිවරයෙක් – චන්දන ජයවීර – හැටන්

තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ චන්දන ප්‍රදීප් ගුණතිලක මහතා අද (23) දා තේරී පත්විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් තලවකැලේ- ලිඳුල නගර සභාවේසභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ඒ. අශෝක සේපාල මහතා එම ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩුව පැවැති සභාපතිධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ- ලිඳුල නගර සභාවේදී සිදු කෙරණි.
තලවකැලේ- ලිඳුල නාගරික මන්ත්‍රී ප්‍රසන්න කුමාර මහතා විසින් එහෙදී නගර සභාවේ නව සභාපතිවරයා ලෙස චන්දන ප්‍රදීප් ගුණතිලක මහතාගේ නම යෝජනා කරන ලද අතර, එම යෝජනාව උප සභාපති එල්. භාරතිදාසන් මහතා විසින් ස්ථීර කරන ලදි.
වෙනත් යෝජනා ඉදිරිපත් නොවු බැවින් තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස චන්දන ප්‍රදීප් ගුණතිලක මහතා ඒකමතිකව තෝරා පත්කර ගන්නා ලද බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා මෙහෙදී සභාවට දැනුම් දෙන ලදි.
නාගරික මන්ත්‍රීධුර 12 කින් සමන්විතව පවතින තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපතිධුරයෙන් ඒ. අශෝක සේපාල මහතා ඉවත් කිරීමෙන් පසුව එහි සභාපති තනතුරේ කටයුතු එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද එල්. භාරතිදාසන් මහතාවිසින් මෙතෙක් සිදු කරන ලදි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව තලවකැලේ- ලිඳුල නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමකට හිමිව පැවැති අතර, මේ අනුව එහි පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.
අද දින තලවාකැලේ- ලිඳුල නඟර සභා කාර්යාලයේ පිටතට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.