අද කාලගුණය – හංසලි උමාදී

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මාර්තු 21 දින

ප.ව. 23.30 වනවිට, ගිණිකොනදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත්
මුහුදු ප්‍රදේශයට ආසන්නව උතුරු අක්ෂාංශ 14.0ත් නැගෙනහිර දේශාංශ 94.0ත් (14.0N, 94.0E) ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවතුණි.

එම පද්ධතිය අන්දමන් දූපත් ආසන්නයෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර් වෙරළට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 12ත් 18ත් අතර සහ නැගෙනහිර දේශාංශ 92ත් 98ත් අතර මායිම්වන ගිණිකොනදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට (12N-18N, 92E-98E) යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

වැසි තත්ත්වය🌦

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළඟ🌬️

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශා වලින් හමා එයි.

සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය🌊

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *