රසායනික පොහොර තහනම ඉවත් කරනවා ,නලින් බණ්ඩාර කියයි – මහනුවර වාර්තාකරු

වත්මන් රජය රසායනික පොහොර හා පළිබෝධනාශක ඇතුළු කෘෂි රසායන සම්බන්ධයෙන් පනවා ඇති තහනම සමගි ජන බලවේගය රජයක් යටතේ ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ප්‍රමිතියෙන් යුත් කෘෂිරසායන කිසිදු අඩුවකින් තොරව සාධාරණ මිලකට ගොවියාට ලබාදෙන බවත් සමගි ජනබලවේග රජයක් යටතේ ගොවි ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන බවත් ඒ මහතා කීය.

ඡායාරූප-සමගි ගොවිජන ප්‍රකාශනය මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් පිළිගැන්වූ අයුරු
සමගි ජන බලවේග ගොවිජන ප්‍රකාශනය මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනාහිමිවරු වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අද (07) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේද පැවසුවේය.සමගි ගොවිජන ප්‍රකාශනය අපි පසුගිය ජනවාරි 25 දින ජනගත කළා. අද වන විට මේ රටේ ගොවි ජනතාව විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ ප්‍රශ්නය නිසා රටම විශාල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරනවා.ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වුණේ ගොවි ආර්ථිකය කඩා වැටීමත් සමඟයි. කෘෂි ආර්ථිකය කඩා වැටෙන කොට රට වැටෙනවා කියන එක මේ ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ.
මේ පොහොර ගැටලුව නිසා මහ කන්නයේ අස්වැන්න සියයට පනහකින් හැටකින් විතර අඩුවුණා. ඒ සොච්චම් අස්වැන්නත් අද කෘෂි යන්ත්‍ර වලට අවශ්‍යය ඉන්ධන නොමැති නිසා ගොවි ජනතාවට ලබාගන්න බැරිවෙලා.අද ගොවීන්ට බැරල්,බූලි අරන් ඉන්ධන පිරිවුම් හල් වල රස්තියාදු වෙන්න සිදුවෙලා.මේවාට ඉන්ධන නොදෙන නිසා ගොවීන් තවත් අසරණ වෙලා.ගොයම් කපන මැෂින් ඉන්ධන පිරිවුම් හල් වලට අරන් එන්න ගොවීන්ට පුළුවන්ද?.මේ ප්‍රශ්න වලට ආණ්ඩුව විසඳුම් දියයුතුයි.