ජනතාව පිඩාවට පත්කරන්න එපා . ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි – මහනුවර වාර්තාකරු

රටේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළ නොහැකි නම් ආණ්ඩුව කළ යුත්තේ තවත් ජනතාව පීඩාවට පත්නොකර ප්‍රශ්න වලට විසඳුම් දියහැකි පිරිසකට රට බාරදීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ජනතාව හමුවට ගොස් පවත්වන මැතිවරණයකින් ආණ්ඩුවක් ලබා ගැනීම මිස ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුවක් ලබා ගැනීමේ කිසිදු අදහසක් සමගි ජනබලවේගයට නොමැති බවත් මේ නිසා දැන් ආණ්ඩුව කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා කැමැත්ත උරගා බැලීම බවත් ඒ මහතා කීය.
මහනුවරදී ඊයේ (04) මාධ්‍ය හමුවක් පවත්වමින් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
රටේ සියලු ප්‍රශ්න වලට හේතුව ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය බවත් මේ නිසා අද ජනතාවට දිවා රෑ දෙකේම පෝලීම් වල රස්තියාදු වීමට සිදුව තිබෙන බවත් කී ඒ මහතා ආණ්ඩුව දැන් කළ යුත්තේ ජනතාව පාරට බැස පන්නා දමන තෙක් නොසිට මැතිවරණයක් පැවැත්වීම බවද අවධාරණය කළේය.
යහ පාලන ආණ්ඩුව බලයට පැමිණි විගස කළේ රුපියල් බිලියන 1000 ක් වූ රජයේ බදු ආදායම රුපියල් බිලියන 2000 ක් දක්වා ඉහළ නන්වා ගැනීම වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස බදු ඉවත්කර රුපියල් බිලියන 800 ක මුදලක් අහිමිකරගත් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
යුද්ධයක් කරන රුසියාවෙන්ද ණය ඉල්ලන තත්ත්වයට ආණ්ඩුව බංකොලොත් වී සිටින බවත් ජනතාව උදේ ඉඳන් රෑ වනතෙක් පෝලීම් වල සිටියදී ආණ්ඩුව උදේ ඉඳන් රෑ වනතෙක් රටවල් වලින් ණය ඉල්ලා හිඟාකන බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.