මන්ත්‍රී සංවිධානය කල මහනුවර ෆේස් බුක් සාදය වටලයි – මහනුවර වාර්තාකරු
නාගරික මන්ත්‍රීවරයෙකුට අයත් මහනුවර නගරයේ පිහිටි හෝටලයක පැවැත්වූ ෆේස් බුක් සාදයක් වැටලූ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණඩායමක් අයිස් මත්ද්‍රව්‍යය හා මත්පෙති සමඟ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගේ දරුවන් ඇතුළු තරුණ තරුණියන් 38 දෙනෙක් (13) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 20-24 වයසේ පසුවන තරුණියන් සිව් දෙනක් සිට ඇත.ඔවුන්ද මහනුවර ව්‍යාපාරිකයින්ගේ දරුවන් බව අනාවරණය වී තිබේ.මොවුන් අධි සුඛෝප භෝගි වාහන වලින් මෙම සාදයට පැමිණ සිට ඇත.
සාදය පැවති ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය මිලි ග්‍රෑම් 500 ක් සහ ගංජා ග්රෑම් 07 ක්ද පොලීසිය සොයා ගෙන තිබේ.
පෞද්ගලික ආරක්ෂක අංශයක සේවයද ලබා ගනිමින් සාදය සංවිධානය කර තිබුණු බව වැටලීම සිදුකළ නිලධාරිහූ පවසති.
පොලීසියෙන් හා සෞඛ්‍ය අංශ වලින් කිසිදු අවසරයක් ලබා නොගෙන මෙම සාදය සංවිධානය කර තිබුණු සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (13) අලුයම මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විදානගමගේ මහතා ප්‍රමුඛ නිලධාරීන් දස දෙනෙකු අදාළ ස්ථානය වටලා ඇත.
මෙම හෝටලය පසුගිය පළාත් පාලන මැතිවරණයට එජාපයෙන් තරඟ කළ මන්ත්‍රීවරයෙකුට අයත් එකක් වන අතර සාදය සඳහා තවත් එජාප නාගරික මන්ත්‍රීවරයෙකු ඔහුගේ ෆෙස් බුක් ගිණුම ඔස්සේ පුළුල් ප්‍රචාරය ලබාදී තිබෙන බවද පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කරමින් මෙම සාදය සඳහා පුද්ගලයින් ඒකරාශි කරගෙන තිබෙන බවත් සාදය පැවැති හෝටලයට ඇතුළු වීමට එක් අයෙකු ගෙන් රුපියල් 2500.00 ක් අයකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බව පොලීසිය පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විදානගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇත .ඔවුනට මාර්තු මස 03 දින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.