රණවිරුවනට සුභයි – මහනුවර වාර්තාකරු

රණවිරු සේවා අධිකාරිය පිහිටුවා වසර 20 කට අධික කාලයක් ගතව තිබුණද එදාමෙදා තුර ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අයවැයකින් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ මෙවර බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා පවසයි.
රට වෙනුවෙන් දිව පරදුවට තබා සටන් වැද යුද බිමේදී පූර්ණ ආබාධිත ( රණක්ෂිත ) තත්ත්වයට පත් මධ්‍යම පළාතේ රණවිරුවන්ට විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී සේනාධීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී නන්දන සේනාධීර මහතා මෙසේද කීවේය.මෙවර අය වැයෙන් රණවිරු අධිකාරියේ සත්කාරක වැඩසටහන් සඳහා ජනපති උපදෙස් මත රුපියල් මිලියන 750 ක් වෙන්කර තිබෙනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත දිවයින පුරා විසිර සිටින පූර්ණ ආබාධිත රණවිරුවන්ට විද්‍යුත් යතුරුපැදි ලබාදීම මේවන විට ක්‍රියාත්මක කරනවා. මෙයට අමතරව මෙම රණවිරුවන්ට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සහ නිවාස ඉදිකර ගැනීමට ඉතා සුළු පොළියක් යටතේ රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් ලබා දෙනවා. මේ රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙම කටයුතු සඳහා විවිධ පරිත්‍යාග යටතේ ලැබුණු රුපියල් මිලියන 518 ක පමණ මුදලක් මේවන විට අපි වැයකර තිබෙනවා.
විද්‍යුත් යතුරුපැදි භාවිතය මගින් මෙම රණවිරුවන්ට ඔවුන්ගේ සියලු කටයුතු තනිවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව ස්වයං රැකියාවක් හෝ කිරීමට අවස්ථාව හිමි වෙනවා. මේ පූර්ණ ආබාධිත රණවිරුවන් රට වෙනුවෙන් කළ කැපවීම අපි කිසිවෙකුට කවදාකවත් අමතක කරන්න බැහැ. ඔවුන්ට දැන් අවශ්‍යය අනුකම්පාව නොව අත දීමයි .ඔවුන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සැමගේ යුතුකම හා වගකීමයි.
මෙහිදී ආබාධිත රණවිරුවන් සඳහා කෘතිම පාද,ඇස් කණ්ණාඩි මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාදීමක්ද සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.පී.ඒකනායක,විශ්‍රාමික බ්‍රිගේඩියර් තිරිමාන්න, දෙවැනි සිංහ රෙජිමේන්තුවේ මේජර් දිලාන් මිහිදුකුලසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූපය-ආබාධිත රණවිරුවෙකුට නන්දන සේනාධීර මහතා විසින් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ කට්ටලයක් ලබාදුන් අයුරු.