සමගි ජන බල වේගයේ සමගිය ඉවරයි ..රංගේ බණ්ඩාර කියයි – මහනුවර වාර්තාකරු

ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය තුළ හත් දෙනෙක් පමණක් ඉතිරි වී සෙසු සියලු දෙනා එජාපය හා එක්වන බවත් එසේ නොවුණහොත් තමන් පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත්වන බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
සමගි ජන බලවේගය ගොඩනගා වසර දෙකක් යන්නට මත්තෙන් දැන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබෙන බවත් මේවන විට එම කණ්ඩායමේ හත් දෙනෙකු ජනපති අපේක්ෂකයා වීමේ සිහින දකිමින් සිටින බවත් ඒ මහතා කීය.
.එජාප මහනුවර දිස්ත්‍රික් කාර්යාලය ප්‍රතිසංස්කරණය කර මධ්‍යම පළාත් කාර්යාලය ලෙස විවෘත කිරීමෙන් පසු මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව පැවසුවේය.
පසුගිය මහ මැතිවරණයෙන් පසු සිරිකොත අල්ලන බවත් අලියා සහ කොළ පාට ලබා ගන්නා බවත් ප්‍රකාශ කරමින් ජනතාව මුලාකාර එජාප ඡන්ද සමගි ජන බලවේගය මගින් ඩැහැගත් බවත් මේවන විට ඔවුන්ට ඡන්දය දුන් එජාප පාක්ෂිකයින් කවුද හරි යන්න තේරුම් ගෙන සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
අද රටේ සහල්,සීනි,ඉන්ධන,ගෑස්,පොහොර,සිමෙන්ති,කිරිපිටි ප්‍රශ්න දිනෙන් දින උග්‍රවෙමින් තිබෙන බවත් රටට අවශ්‍යය ඉන්ධන ගෙන්වීමටවත් ඩොලර් සොයා ගැනීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්ව සිටින බවත් කී එජාප මහලේකම්වරයා මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට නම් සියලු දෙනා එකතු වී ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද ප්‍රකාශ කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණ දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඔහු සතු දීර්ඝ දේශපාලන අත්දැකීම් පදනම් කරගෙන බවත් ජනපති වෙන්න සිහින දකිමින් ෂූට් මසන අයට මේ දැක්ම නොමැති බවත් ඒ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරු සමඟ ඩීල් දේශපාලනයක නිරත වන බවට ඇතමුන් බොරු චෝදනා කරන බවත් පසුගිය ආණ්ඩුව සමයේ රාජපක්ෂවරු සහ ඔවුන් සමඟ සිටි 344 දෙනෙකුට අධි චෝදනා පත්‍ර ගොනු කළ බව අභූත චෝදනා කරන අයට තමන් සිහිපත් කර දෙන බවත් රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.
මෙම නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට විනිසුරුවරු තිදෙනා බැගින් සමන්විත අධිකරණ දෙකක් ස්ථාපිත කළ බවත් ඩීල් දේශපාලනයක රනින් නිරත වූයේ නම් මේවා කරන්නට හැකි නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එජාපයට ඇති ලොකුම හෙණය වැඩ කරන එකා කපන්නට වැඩ නොකරන එවුන් එක්ව කටයුතු කිරීම බවත් එය තවදුරටත් පක්ෂය තුළ ක්‍රියාත්මක නොවිය යුතු බවත් ඒ මහතා කීය.
මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගල රත්නායක,කේ.කේ පියදාස,එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.