පොල් අදායම ඉහලට — මහනුවර වාර්තාකරු

වසර තුනකදී මෙරට පොල් ගෙඩි නිෂ්පාදනය මිලියන 3800 ක් දක්වා ඉහළ නන්වා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩිකර ගැනීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඉලක්කය බව එහි සභාපතිනි,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පවසයි.

පසුගිය වසරෙදී පොල් ආශ්‍රිත නිෂ්පාදනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පමණ ආදායමක් රටට ලැබුණු බවත් වසර 2025 වන විට මෙයට තවත් මිලියන 200 ක් එකතු කර ගැනීම අරමුණ බවත් ඇය ප්‍රකාශ කළාය.

මධ්‍යම පළාතේ පොල් වගාව ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී හේරත් මහත්මිය මේ බව පැවසුවාය.

මෙම වසරේදී අලුතින් පොල් පැළ ලක්ෂ 75 ක් සිටුවීමට සැළසුම් කර තිබෙන බවත් එහිදී මධ්‍යම පළාත වගා ව්‍යාපෘති භූමියක් ලෙස තෝරාගෙන තිබෙන බවත් සභාපතිනිය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන් අක්කරයක පොල් පැළ 64 ක් ඉන්දවිය හැකි බවත් මේ අනුව නව ව්‍යාපෘතිය යටතේ අක්කර ලක්ෂ 12 ක පොල් පැළ සිටුවීමට සැළසුම්කර තිබෙන බවත් ඇය කීවාය.

පසුගිය වසරේදී මෙරට පොල් ගෙඩි නිෂ්පාදනය ආසන්න වශයෙන් මිලියන 2800 ක පමණ අගයක් ගත් බවත් 2025 දී මෙය 3600-3800 අතර අගයක් දක්වා ඉහළ නන්වන බවත් කී මාධවී හේරත් මහත්මිය මෙරට නිෂ්පාදනය කරන පොල් වලින් 70% ක් පමණම යොදා ගන්නේ ජනතා පරිභෝජනයට බවද අවධාරණය කළාය.
පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා යොදා ගැනීමට හැකිවී තිබෙන්නේ සමස්ත පොල් නිෂ්පාදනයෙන් 30% ක් පමණක් බවත් මෙය ප්‍රමාණවත් නොවන නිසා කර්මාන්තකරුවන් විදේශ රටවලින් පොල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් සභාපතිනිය කීවාය.
ජනතා පරිභෝජනයට මෙන්ම කර්මාන්ත සඳහාද අවශ්‍යය පොල් ප්‍රමාණය මෙරට නිෂ්පාදනය කිරීම පොල් වගා කිරිමේ මණ්ඩලයේ අරමුණ බවත් ඒ සඳහා පොල් ත්‍රිකෝණයෙන් පිටත පොල් වගාව ප්‍රචලිත කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඇය පැවසුවාය.

ඒ අනුව උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පොල් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පවතින පොල් ඉඩම් වල ඵලදායිතාව ඉහළ නැන්වීමත් අලුතින් පොල් වගා භූමි ඇති කිරීමත් ඔස්සේ අදාළ ඉලක්ක වෙත ළඟා වීම අරමුණ බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජනක සකලසුරිය, කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සුජාතා විජේසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *