නිදහස් අධ්‍යාපනයේ පියා නමින් කෙටල විශේෂයක් – මහනුවර වාර්තාකරු
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද කිසිදු විද්‍යාඥයෙකු හෝ පර්යේෂකයෙකු තමන්ට අධ්‍යාපනයට මඟ පෑදු නිදහස් අධ්‍යාපනයේ පියා නමින් සත්ත්ව හෝ ශාඛ විශේෂයක් නම් කිරීමට කටයුතු නොකර තිබියදී මෙරටට ආවේනික කෙටල විශේෂයක් ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) ලෙස මෑතකදී නම් කිරීමට ගාල්ල වනජීවි සංරක්ෂණය සංගමය කටයුතු කිරීම අගය කළ යුතු බව ජාතික පාරිසරික සභාවේ සභාපති,නීතීඥ,ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසයි.
කන්නන්නගර මහතා ලබාදුන් නිදහස් අධ්‍යාපනය නිසා ලොව දිනූ බොහෝ දෙනෙකුට එතුමා අමතක වීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා කීය.
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් පෙරේදා (02) මහනුවර රෝයල් මෝල් හෝටලයේදී පැවැති උත්සවයකදී ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේය.එකෝ කැන්ඩි නේචර් ක්ලබ් සංවිධානය මගින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා කැපවූ පුද්ගලයින් අගයා සම්මාන පිදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මහනුවර වරාතැන්න හක්කිඳ දූපත් ආශ්‍රිත තෙත් බිම් කළාපය ආරක්ෂා කර ගැනීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් වරාතැන්න ශ්‍රී විමලබුද්ධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ගඟවට කෝරළය උප ප්‍රධාන සංඝනායක වල්දෙණියේ සමිත හිමි,හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන,ආචාර්ය ජගත් ගුණවර්ධන,නීතීඥ ශාන්ත රත්නායක,වනජීවි පර්යේෂක ප්‍රදීප් සමරවික්‍රම යන මහත්වරු සහ මධ්‍යම පරිසර අධිකාරිය,ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය,හාරිස්පත්තුම ප්‍රාදේශීය සභාව මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් ගුණවර්ධන මහතා මෙසේද කීවේය.තෙත් බිම් දිනය කියන එක ඇත්තටම ආරම්භ වෙන්නේ තෙත් බිම් වල තිබෙන වටිනාකම නිසා නොවෙයි. ඇත්තටම මේ දිනය නම් කිරීමට හේතු වුණේ තෙත් බිම් වල තිබෙන වටිනාකම හඳුනා නොගත් මිනිසුන් එම පරිසර පද්ධති විනාශ කරමින් තමන්ගේ විනාශය ළඟාකර ගැනීම වලක්වා ගැනීමටයි. තෙත් බිම් ආරක්ෂා නොකිරීමෙන් අපට මුහුණ දීමට සිදුවන ව්‍යවසන දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.
තෙත් බිම් වල සම්ප්‍රදායික වටිනාකම් වලට වඩා ඒවායින් ජෛව විවිධත්වයට මෙන්ම සමස්ත ජීවයේ පැවැත්මට සිදුවන සේවාව ගැන කතා කළ යුතුයි.අපේ රටේ තෙත් බිම් මත යැපෙන ශාඛ හා ජීව කාණ්ඩ ගැන ජනතාවට තිබෙන අවබෝධය අඩුයි.වරතැන්න ගත්තොත් කොළ ගඩයා මත්ස්‍යා ගැන කතා කරනවා.ගල්පර වල ඇළුණු පාසි වාර්ග තිබෙනවා.ඒවා ලංකාවට පමණක් ආවේනික ඒවා.මේවා ගැන අපි කතා කරනවා අඩුයි. යමක වටිනාකමක් හඳුනා නොගත් පමණින් ඒවාහි වටිනාකමක් නැතැයි සිතීම වැරදයි.
ක්‍රිප්ටකොරයන් ගණයේ ශාඛ ලංකාවේ 11 ක් තිබෙනවා.ඒවා ලංකාවෙන් වඳ වෙමින් යනවා.කෙටල ශාඛ විශේෂ 10 ක් ලංකාවේ දක්නට ලැබෙනවා.මේවා වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.තෙත් බිම් වල ඇති ජලජ ශාඛ මුහුණ දෙන ඛේදවාචකය එයයි. අති උඩයන් 11 ක් අපේ රටේ හමු වෙනවා. එක විශේෂයක් වඳ වෙලා ගිහින්.කෙටල විශේෂ 10 න් එකක් වඳ වෙලා ගිහින් කියලා සලකනවා. කෙකටියා විශේෂ හයක් අපට තිබෙනවා.එයින් හතරක් අපිටම ආවේනිකයි.ඒ අතරින් විශේෂ දෙකක් මෑතකදී සොයා ගත්තේ.
මිරිදිය කකුළුවෝ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.එම විශේෂ 51 ක් අපේ රටේ ඉන්නවා.මහනුවර කෑගල්ල,කළුතර ගාල්ල වනාන්තර වල මේ සතුන් දක්නට ලැබෙනවා.එක්කෙනෙක් හැර අනෙක් පනහම ලංකාවට ආවේනිකයි.මෙවැනි සත්ත්ව කාණ්ඩ වල් නාශක,කෘමිනාශක ගහනකොට කොච්චර විනාශ වෙනවද ?. කැලෑ එළි කිරීම,කර්මාන්ත ශාලා වලින් අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම,මැණික ගැරීම ඇතුළු කාරනා රැසක් මේ ජීවින්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපානවා.
මේ මිරිදිය කකුළු විශේෂ 51 න් 50 ක් ලෝකයට අහිමි වුණොත් ඒ අහිමි වීම සිදු වන්නේ ලංකාවට පමණක් නොව ලෝකයටමයි.මේ පනස් දෙනාගෙන් 23 ක් ස්ථානීය ආවේනිකයි. ඒ කියන්නේ කුඩා ස්ථාන වලට සීමා වෙලා ඉන්නවා කියන එකයි.ඒවා ගැන අපේ කිසිදු අවධානයක් නැහැ.මේ සත්තු ගැන අපි කතා කළ යුතුයි.නමුත් කතා කරන්නේ නැහැ.සම්ප්‍රදායික කතා නොකර අනාගතවාදීව මේවා ගැන අවධානය යොමුකර කතා කළ යුතුයි.ලංකාවේ බත් කූරන් හා ඉරටු කූරන් විශේෂ 131 ක් ඉන්නවා. ඉන් 59 ක් ලංකාවට ආවේනිකයි.ඉරටු කූරන් හා බත් කූරන් ගත්තම තවත් උප විශේෂ 08 ක් ඉන්නවා.ඒ අනුව ඔක්කොම 67 ක්. බතුකූරන්ගේ පැවැත්මට තෙත් බිම් අවශ්‍යයි.