පේරාදෙණිය විශ්ව විද්‍යාලයේන් තවත් වාර්තාවක් – මහනුවර වාර්තාකරු

නිදහස් අධ්‍යාපන වරම යටතේ මෙරට රජයේ පාසැල් වලට ඇතුළු වන ළමුන් අතරින් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ වසරකට තිස් දහසකටත් අඩු පිරිසකි.මේ වෙනුවෙන් රජය වාර්ෂික වැයකරනු ලබන මුදල රුපියල් කෝටි ගණනකි.ඒවා මහජනතාවගෙන් බදු ලෙස අයකර ගන්නා මුදල්ය.ජනතා බදු මුදලින් පළමු වසරේ සිට දහතුන් වන වසර දක්වා පාසැල් අධ්‍යාලනය ලැබ විශ්ව විද්‍යාල වරම් ලබන බොහෝ පිරිසක් සිහින දකින්නේ රටහැර ගොස් දියුණු රටක පැළපදියම් වී යහමින් දිවි ගෙවන්නටය.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ලෝකයට මඟ විවරකර ගනු ලැබුවෝ යළි මෙරටට පැමිණීමට හෝ උනන්දුවක් නොදක්වන්නේ ඒ රටවල සිට අපගේ අධ්‍යාපන ක්‍රමය ඇතුළු බොහෝ දේ විවේචනය කරමිනි.රටෙන් ලබාගත් දේ වෙනුවෙන් පෙරළා රටට සහ ජනතාවට යමක් ලබා දෙන්නට සිතන්නේ ඉතා සුළු පිරිසකි.මෙම සමාජ වගකීම මරණය තමන් වැළඳ ගන්නා තෙක්ම ඇතැම්හු හඳුනා නොගනිති.කොවිඩ්-19 වෛරසය පුංචි ශ්‍රී ලංකාව පමණක් නොව මහ බලවත් රාජ්‍යයන් පවා භීතියට පත් කරවමින් පැතිර යත්දී මෙම සමාජ වගකීම හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් හදවතින් බැඳී කටයුතු කරන පිරිස් සම්බන්ධව ලෝකයම කතා කරන්නට පටන් ගත්තේය.මහා දැනුමක් නොමැති වුවත් අඩුම තරමේ මුව ආවරණයක් හෝ මසා නොමිලේ ජනතාව අතර බෙදා දෙන්නට ඇතැම්හු පියවර ගත්හ.වෛරසය මැඩපැවැත්වීමට කටයුුතු කරන සෞඛ්‍ය අංශ වලට තම සහයෝගය ලබාදෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න නිරන්තරව කල්පනා කළ පිරිස් ඒ සඳහා නව නිර්මාණ කරන්නට පෙළඹුණේය.එ් අතර පෙරමුණේම සිටින්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සමත්වූයේ එහි ආචාර්යවරුන් හා සිසුන් එක්ව සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් රාජකාරි කරන වෛද්‍ය හා හෙද කණ්ඩායම් වල ආරක්ෂාවත් රෝගීන්ගේ පහසුවත් පිණිස නිර්මාණ ගොන්නක් එළිදක්වමිනි.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වීමත් සමඟ රෝගීන් හෝ රෝගීන් බවට සැකකෙරෙන පුද්ගලයින් සමඟ ගැටෙන වෛද්‍යවරු,හෙද කාර්ය මණ්ඩල හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛරසයෙන් ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුවිණි.ලෝකය පුරා මේ සම්බන්ධ උපකරණ වලට පැවති දැඩි ඉල්ලුමත් සමඟ ඒවාහි බරපතල හිඟයක් ඇතිව තිබියදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක දෙපාර්තුමේන්තුවේ තෙවන වසරේ සිසුවෙකු වන කේසර වීරසිංහ ආරක්ෂිත මුව ආවරණයක්( Face Shield)නිර්මාණය කළේය.අදවන විට ඒ සඳහා සපුරා ලීමට පවා ආකාරයේ ඉල්ලුමක් ලැබී තිබේ.එය සපුරා ලීමට විශ්ව විද්‍යාල ආචාර්යවරු පමණක් නොව අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින්ද සිසුන් සමඟ අත්වැල් බැඳ සිටිති.ඉන් නොනැවතුන කේසර වීරසිංහ සිසුවා රෝහල් වල භාවිතයෙන් ඉවත්කර තිබූ කෘතීම ස්වසන යන්ත්‍ර (Ventilator Machine) පහළොවක් අලුත්වැඩියා කිරීමට පියවර ගත්තේය.ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙකු වන කසුන් විතානගේ සමඟ අත්වැල් බඳ ගනිමින් කේසර වීරසිංහ ඊළඟට නිර්මාණය කළේ අසාධ්‍යය තත්ත්වයෙන් රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිර පීඩනය,රුධිරයේ ඔක්සින් පරිමාව ඇතුළු අත්‍යවශ්‍යය දත්ත පෙන්නුම් කරන බහු පරාමිතික (Multi Monitor)යන්ත්‍ර විශාල සංඛ්‍යාවක දත්ත එක් ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකි මෘදුකාංගයකි.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රටවල් මුහුණ දුන් අභියෝග කිහිපයක් තිබුණා..රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා අතර වෛරසයට ගොදුරුවන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් වල පහසුකම් ඇති කිරීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයට ගොදුරු වීමට නොදී ආරක්ෂාකර ගැනීමත් ඒ අතරින් ප්‍රධානයි.මේ වෛරසය නිසා ලෝකය පුරා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල වල දහස් ගණනක් මරණයට පත්ව තිබෙනවා.රෝගීන්ගේ ජීවිත බේරාගන්න කටයුතු කරන වෛද්‍යරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ජීවිත බේරා ගැනීම ඉතා වැදගත්.මේ නිසා අපි මුලින් ආරක්ෂිත මුව ආවරණයක්( Face Shield)නිර්මාණය කළා.දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බොහෝ අවස්ථාවල කෘත්‍රීම ස්වසන යන්ත්‍ර වලට සම්බන්ධ කරනවා.මේ යන්ත්‍ර අපේ රටේ තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්.නිසිලෙස ක්‍රියා නොකිරීම නිසා රෝහල් වලින් ඉවත් කරලා තිබුණු මේ යන්ත්‍ර 15 ක් අපි විශ්ව විද්‍යාලයට ගෙනත් අලුත්වැඩියා කළා.ඒවා දැන් මහනුවර හා පේරාදෙණිය රෝහල් වලට බාරදී අවසානයි.අපේ රටේදීම මේ යන්ත්‍රයක් සකස් කරන්න දැන් අපි කටයුතු කරමින් සිටිනවා.
දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් බහු පරාමිතික (Multi Monitor)යන්ත්‍රයකට සම්බන්ධ කිරීම මගින් එම පුද්ගලයාගේ හෘද ස්පන්ධනය,රුධිර ඔක්සින් ප්‍රමාණය,ශරීර උෂ්ණත්වය,විනාඩියකදී සිදුකරන ස්වසන වාර ගණන ඇතුළු දත්ත රැසක් නිරීක්ෂණය කෙරෙයි.එක් රෝගියෙකුට එක් යන්ත්‍රයක් බැගින් සම්බන්ධකර තිබීම නිසා අදාළ දත්ත ලබා ගැනීමට රෝගියාගෙන් රෝගියා වෙත ගමන් කිරීමට වෛද්‍යවරුන්ට හා හෙද නිලධාරීන්ට සිදුවෙයි.එම යන්ත්‍ර සියල්ලේ දත්ත රෝගීන් අනුව වෙන්කොට දැඩි සත්කාර ඒකකයෙන් පිටත සිට බලා ගැනීමට හැකිවන ලෙස කේසර හා කසුන් එක්ව නිර්මාණය කළ මෘදුකාංගය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද ඇගයුමට ලක්ව තිබේ.
මෙම මෘදුකාංගය මගින් වෛද්‍යවරයෙකුට තමන්ගේ ජංගම දුරකතනය හෝ ටැබ් යන්ත්‍රය මගින්ද රෝගියෙකු අදාළ දත්ත නිරීක්ෂණය කළ හැකියි. කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගීන්ට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරුන්ට හා හෙදියන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල භාවිත කරමින් තමයි රෝගියා ආසන්නයටම ගොස් අදාළ යන්ත්‍ර පරීක්ෂා කිරීමට සිදුවන්නේ.මේ පිරිස අදාළ කාර්ය කරන්නේ ලොකු අවධානමක් දරා ගනිමින්.විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු මේ අවධානම ගැන අප සමඟ සාකච්ඡා කළා.ඒ අනුව මම පරාමිතික යන්ත්‍රයක් (Multi Monitor)නිවසර රැගෙන ගොස් කසුන් හා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් දින තුනක් වැනි කාලයකදී මේ මාදුකාංගය සකස් කළා.මේ මෘදුකාංගය මගින් වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද කාර්යමණ්ඩලයන්හි ආරක්ෂාව වඩාත් තහවුරු වෙනවා.බහු පරාමිතික යන්ත්‍ර (Multi Monitor) කොපමණ සංඛ්‍යාවක් වුවත් පුළුල් තිරයකට ගෙන එක් ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමට හැකි ලෙස මෙය සකස්කර තිබෙනවා.මේ යන්ත්‍ර නිෂ්පාදනය කරන රටවල් යන්ත්‍ර සියල්ලේ දත්ත එක් ස්ථානයට සම්බන්ධ කරන මෘදුකාංගය අළෙවි කරන්නේ රුපියල් මිලියන තුනකට වඩා වැඩි මිලකටයි.මේ නිසා අපේ වගේ රටවල් යන්ත්‍ර පමණයි මිලට ගන්නේ.දැන් අපිටම මේ මෘදුකාංගය සකස්කර ගැනීමට හැකිව තිබෙන නිසා ඉදිරියේදී අපේ රෝහල් පද්ධතියට මෙය ඇතුළත් කළ හැකියි.මෙතනදී කිසිම මුදලක් අමතරව වැය වෙන්නේ නැහැ.බුද්ධිය පමණයි මෙහෙයවලා තියෙන්නේ….කේසර පවසයි.
විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය මගින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධතාවන් මනාව ගොඩනැගිය රෝබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.පරිගණකයය ආධාරයෙන් රෝහලේ පමණක් නොව වෙනත් ඕනෑම තැනක සිට වෛද්‍යවරයාට මෙහෙයවිය හැකි මෙම රොබෝ යන්ත්‍රයේ විශේෂතා රැසකි.අපේ රටේ දැනට නිපදවා තිබෙන රොබෝ යන්ත්‍ර ගමන් කරවිය හැක්කේ මැග්නටික් ෆීල්ඩ් එකකයි.මේක එහෙම නැහැ.පරිගණකයේ ඇරෝ කීස් වලින් වෛද්‍යවරයාට හෝ එය හසුරුවන පුද්ගලයාට රොබෝව ඕනෑම පැත්තකට ගමන් කරවිය හැකියි.කැමරාවක් මගින් වෛද්‍යරයාට රෝබව ගමන් කරවිය යුතු මාර්ගය හඳුනා ගැනීමට පුළුවන්.රෝගියාට වෛද්‍යවරයාත් වෛද්‍යරයාට රෝගියාත් කැමරා මගින් දැකගත හැකි නිසා දෙදෙනා අතර අදහස් හුවමාරුව පවා මෙමඟින් කළ හැකියි.රෝගියා හා සම්බන්ධ සියලු වාර්තා පරිගණක ගතකර තිබෙන නිසා රෝගියා අසළට ගොස් ඔහුගේ මුහුණ දිස්වූ සැනින් රෝගියාගේ පෙර වෛද්‍ය වාර්තා සියල්ල ක්ෂණයෙන් වෛද්‍යවරයාට දැකගත හැකි ලෙස මෙය අප වැඩිදියුණු කළා…යන්ත්‍රික් ඉංජිනේරු අංශයේ ආචාර්ය සංජීව මෛත්‍රිපාල මහතා පැවසුවේය.
මෙම නිර්මාණ විශ්ව විද්‍යාලයෙන් එපිට ලෝකය හා සම්බන්ධ කරනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු නිර්මාණය කේන්ද්‍රය මගිනි.එහි අධ්‍යක්ෂ යන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධන මහතා දැක්වු අදහස් මෙසේය.ඉංජිනේරු පීඨය හා භාහිර ආයතන අතර සම්බන්ධතාවක් ඇති කිරීම තමයි නිර්මාණ කේන්ද්‍රයේ මූලික කාර්යභාරය.නවීන තාක්ෂණය හා බද්ධව ගමන් කරන කර්මාන්ත වල අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට පැන නැගෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට අවශ්‍යය නිර්මාණ කිරීම තමයි අපි කරන්නේ.සමාජ අවශ්‍යතා අනුව අපේ කාර්යභාරය වෙනස් වෙනවා.කොවිඩ්-19 ප්‍රශ්නයත් සමඟ සෞඛ්‍ය අංශ මුහුණ දුන් ගැටලු වලට විසඳුම් ලබාදීම පිණිස අපි අපේ දැනුම පාවච්චි කළා.ආරක්ෂිත මුව ආවරණයට ( Face Shield)ඉහළ ඉල්ලුමක් තිබෙනවා.අපි මේවා 3000 ක් හදලා දැන් බාරදී අවසානයි.තවත් තුන්දහසකට වැඩි ඉල්ලුවක් තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහචාර්ය ගැමුණු හේරත් මහතා මෙම වැඩපිළිවෙළ සම්බන්ධව මෙසේ ප්‍රකාශ කළේය.කොවිඩ්-19 ප්‍රශ්නයේ බලපෑම රටට එල්ල වීමත් සමඟ අපි ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා කල්පනා කළා.ඒ ඔස්සේ ව්‍යාපෘති පහක් මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා.ආරක්ෂිත මුව ආවරණයට ( Face Shield)ට පසුව කෘතීම ස්වසන යන්ත්‍ර අලුත්වැඩියාව සිදුකළා.ඉන් පසු බහු පරාමිතික යන්ත්‍රය (Multi Monitor)නිර්මාණය කළා.යන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුව මගින් රොබෝ යන්ත්‍ර දෙකක් හැදුවා.විදුලි ඉංජිනේරු දෙපාර්තුමේන්තුව මගින් මේවන විට කෘතීම ස්වසන යන්ත්‍රයක් මෙරට නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.ඉංජිනේරු පීඪයේ එක් එක් දෙපාර්තුමේන්තුව සතු දැනුම එකිනෙකා අතර හුවමාරු කරගනිමින් ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයින්ද විශාල සහයෝගයක් ලබාදෙනවා.
මෙම සියලු වැඩකටයුතු වලට දිරි දෙමින් ඒවා සාර්ථක කරගැනීම උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතාය.මෙය විශ්ව විද්‍යාලයකට පැවරී තිබෙන ප්‍රධාන වගකීම් තුනෙන් එකක් බව පවසන ඒ මහතා එය වැඩිදුරටත් විස්තර කළේ මෙසේය.අවශ්‍යය දැනුම ලබාදී උගතුන් රටට දායද කිරීම විශ්ව විද්‍යාලයේ එක් ප්‍රධාන කාර්යභාරයක්.රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම පිණිස අවශ්‍යය පර්යේෂණ සිදු කිරීම තවත් වැදගත් කාර්යභාරයක්.ඉන් නොනැවතී සමාජ සත්කාරයන් වලට දායක වීම ඊළඟ කාරනයයි.දෙවන හා තුන්වන කාරනා එකට බද්ධ වී සිදුකෙරෙන වැඩපිළිවෙළක් මේක.මේ අපි වගේම දරුවොත් මෙච්චර දුරගමනක් ඇවිත් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි.අපි සමාජයෙන් ලබාගත් දේට පෙරළා සමාජයට යහපත් දෙයක් දායාද කරන්න ඕන..මේ අපි සිදුකරමින් සිටින්නේ ඒ උතුම් කටයුත්තයි.
කොවිඩ්-19 වෛරසය අපට බොහෝ දේ අහිමි කළසේම අනාගතය සාර්ථක කරගැනීමට වැදගත් බොහෝ වැදගත් දේ කියාදෙමින් සිටින්නේය.ඉන් එකක් වන්නේ අප රටේ සිටින නව නිර්මාණකරුවන් සතු හැකියාවන්ය.කොරෝනා එන්නට පෙරද ඔවුන් එවැනි නිර්මාණ කරනු ලැබුවත් සමාජයක් ලෙස අප ඒවාට වටිනාකමක් දුන්නේ නැත.කොරෝනා අද එම පිරිස සමාජයේ ඉහළට ඔසවමින් සිටින්නේය.මතුදිනක කොවිඩ්-19 රටින් තුරන්ව යනු ඇත.එදිනට මේ නව නිර්මාණකරුවන්ද කොවිඩ්-19 සමඟම තුරන්ව යානොදී රැක ගැනීම රජයේ පමණක් නොව අප සැමගේද වගකීමය.