පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට නව මාර්ගෝපදේශ මාලාවක් – හංසලි උමාදී

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් නිරෝධායනය නොවී තම රාජකාරි කටයුතුවල නිරත වියහැකි බවය.

එසේ වුවත් එම පුද්ගලයා තමාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් වහාම රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

නව ප්‍රභේද සමග වෙනස් වූ වෛරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන මෙම නව මාර්ගෝපදේශ හඳුන්වාදී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස හඳුන්වන්නේ පහත සඳහන් කණ්ඩායම් බවද එම කාර්යාංශය සඳහන් කරයි.

ඔබ වයස අවුරුදු 20ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගතවී තිබිය යුතුය.

දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබාතිබීම අනිවාර්ය වෙයි.

වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට එක ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගතවූ පසුවය.

වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගතවූ පසු පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් දෙස සැලකෙයි.

එමෙන්ම, නව මාර්ගෝපදේශවලට අනුව, දෙවැනි මාත්‍රාවෙන් පසුව ආසාදිතයකු බවට පත්වුවහොත් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා, ආසාදනය වූ දිනයේ සිට මසක පරතරයක් පැවතීම ප්‍රමාණවත්ය.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදයට අදාළ සංශෝධන කිහිපයක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබේ.

මේ අතර, ජනවාරි 29යෙන් ආරම්භ වන සතිය තුළ බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩපිළිවෙල පරිසමාප්තියට ලක්කරන බව ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබෙයි.

මේ අතර, ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට පැය 21ක කාලයක් නොනැසී ශරීරය මතුපිට සම මත පැවතිය හැකි බව නවතම පර්යේෂණයකින් සොයගෙන තිබේ.

ජපානයේ කියොතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයෙන් හඳුනාගෙන ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික් මතුපිටක් මත දින 8ක් පැවතීමේ හැකියාව ඇති බවය.

පළමු කොවිඩ් ප්‍රභේදයට සම මත නොනැසී රැඳී සිටීමට හැකියාව පැවතියේ පැය 8ක කාලයක් පමණි.

වූහාන්හි මුල් කොවිඩ් ප්‍රභේදයට පැය 56ක කාලයක් ප්ලාස්ටික් මතුපිටක නොනැසී පැවතීමට හැකිවූ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදයට එසේ රැඳීසිටිය හැකි කාලය පැය 193.5ක් බව එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් දෑත් සේදීම සහ විෂබීජ නාශක භාවිතය වැනි පුරුදු අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කමද එම පර්යේෂකයින් අවධාරණය කර ඇත.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *