මහවැලි ජලාශ වලට පාවෙන සුර්ය පැනල – නදීක දයා බණ්ඩාර

මහා පරිමාණ මහවැලි ජලාශ තුළ පාවෙන සූර්යය පැනල (floating solar) සවිකොට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
වික්ටෝරියා, රන්දෙණිගල ඇතුලු විශාල ජල ධාරිතාවක් රැස්වන මධ්‍යම කදුකරයේ මහවැලි ජලාශවල මෙම ව්‍යාපෘතිය දියත් කළ හැකි යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විදුලිය නිෂ්පාදනය කොට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම මෙන්ම මහා පරිමාණ ජලාශවල ජලය වාෂ්පීකරණය අවම කිරීමට ද මේ තුළින් හැකියාව ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ රුපියල් මිලියන 126ක වියදමින් ඉදිකරන ලද දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සහ නවීකරණය කරන ලද පැරණි පරිපාලන ගොඩනැගිල්ල මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (26) පස්වරුවේ එම කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
දිවයිනේ හතළිස් අටදහසක් වන වැව් වලින් ග්‍රාමීය වැව් පන්දහසක් වසර පහක කාලයකදී ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක යැයි ද ඉකුත් වර්ෂයේදී වැව් 1500ක ප්‍රතිසංස්කරණය නිම කොට ඇතැයි කීවේය. මෙම වැව් කේන්ද්‍ර කොට ග්‍රාමීය ආර්ථික දියුණු කිරීම අපේක්ෂා කරන බවත් පානීය ජලය ලබා ගැනීම සහ උස්බිම්වල කෘෂි වගාවන් සඳහා සුදුසු පරිදි ජල සම්පාදනය කිරීම මේ මගින් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙම වර්ෂයේදී විශාල මුදලක් ග්‍රාම නිලධාරී වසම් සඳහා වෙන් කර ඇතැයි කී අමාත්‍යවරයා, නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය ආදායම් උත්පාදනය මේ තුළින් අපේක්ෂා කරන බව කීවේය.
ග්‍රාමීය මට්ටමේ නව ව්‍යවසායකයන් හදුනා ගනිමින් ඔවුන්ට කර්මාන්ත දියුණු කිරීම සඳහා උපකාර කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර ප්‍රාදේශීය කර්මාන්ත ශාලා බිහි කිරීම මේ තුළින් අපේක්ෂා කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු භාවිතයෙන් තොරව පවතින ඉඩම් සමෘද්ධිලාභීන්ගේ ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීවේය. දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන්ගෙන් සියයට හතළිස්නමයක් (49%) සමෘද්ධිලාභීන් යැයි කී අමාත්‍යවරයා, ඔවුන් ආර්ථීක වශයෙන් ශක්තිමක් කිරීම සහ අපනයන නිෂ්පානය කරා යොමුවීමි රජයේ ඉලක්කයක් යැයි සඳහන් කළේය.
දේශීයව වගා කළ හැකි නමුත් මෙරටට ආනයනය කළ කහ ඇතුලු භෝග වර්ග 17ක් දේශීයව වගා කළ බව කී ඒ මහතා දැනට එම අස්වනු තොග විශාල ලෙස නිපදවා ඇති බැවින් ඊට අගය එකතු කොට වෙළඳ පොලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් යෝජනාවී ඇතැයි ද වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, ග්‍රාමීය කුඹුරු ආශිත වැව් ජලාශ හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා, දෙල්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ද එම ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මේ අවස්ථාවට එක්වූහ.