මෙන්න කැසිකිලි වැඩක් _මහනුවර වාර්තාකරු

මහනුවර මහ නගර සභාව මගින් පොදු වැසිකිළි පවත්වාගෙන යෑමේ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කරන බව නාගරික මන්ත්‍රී චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.
අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින පොදු වැසිකිළි වලින් අදාළ අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 10 ක මුදලක් අය කළ යුතු බවට ටෙන්ඩර් කොන්දේසි වල පැහැදිලිව දක්වා තිබියදී අදාළ පුද්ගලයා රුපියල් 20 බැගින් අය කරන බව ඒ මහතා කීය.
මහනුවර මහ නගර සභාවේ මාසික රැස්වීම (31) පැවැති අවස්ථාවේදී විජේනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
නගර සභාවට අයත් පොදු වැසිකිළි පහක් තිබෙන බවත් මේවා සියල්ල ටෙන්ඩරයක් මගින් ලබාගෙන තිබෙන්නේ එක් පුද්ගලයෙකු බවත් කී ඒ මහතා අදාළ ටෙන්ඩරය මෙම පුද්ගලයාට ලබාදීමට මන්ත්‍රීවරයෙකු විශාල අරගලයක් කළ බවද අවධාරණය කළේය.
අදාළ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙන බවත් මේ දක්වා කිසිදු වැසිකිළියක් ප්‍රතිසංස්කරණය නොකර ටෙන්ඩර්කරු මුදල් ඉපයීමේ කටයුතු පමණක් සිදුකරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් මෙලෙස මුදල් ඉපයීම දිගින් දිගටම සිදුවන්නේ නම් නගර සභාව ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් හෙතෙම කීය.