උපාධිය ගන්න එන්නත ගහගෙන එන්න පේරාදෙණියෙන් කියයි . මහනුවර වාර්තාකරු

මහචාර්ය හර්බට්.එම් අපෝන්සු සහ වෛද්‍ය ගුණදාස අමරසේකර යන මහත්වරු රටට කළ සේවය අගයමින් ඔවුන්ට විශේෂ ගෞරව උපාධි දෙකක් පිරිනැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තීරණය කර තිබේ.
මෙම ගෞරව උපාධි පිරිනැමීම මෙම මස 22 දින පැවැත්වෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ 82 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සිදු කිරීමට නියමිතය.
උපාධි ප්‍රදානෝත්සවය 22,23 හා 24 යන දිනවලදී විශ්ව විද්‍යාලීය ක්‍රීඩාගාරයේදී සිදු කෙරෙයි.
මහචාර්ය අපෝන්සු මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මෙන්ම වෛද්‍ය වෘත්තියට දීර්ඝ කාලයක් සුවිශේෂි මෙහෙවරක් කළ අයෙකි. වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා රටට සහ ජාතියට කළ සේවය අගයා මෙම ගෞරව උපාධිය පිරිනැමෙන බව විශ්ව විද්‍යාලයෙ මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා කීය.

විශ්වවිද්‍යාලීය සනාතන මන්දිරයේදී පසුගිය 18 දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 3890 දෙනෙකු උපාධි පිරිනැමීමට නියමිතය. කොවිඩ් තත්ත්වය හේතුවෙන් උපාධි ප්‍රදානය කල් දැමීමට සිදුවීම නිසා මෙවර 2019 වසරේදී උපාධි ලැබීමට නියමිත සිසු පිරිසට උපාධි ප්‍රදානය කෙරෙන බවත් 2020 වර්ෂය සඳහා උපාධි ලැබීමට නියමිත සිසුන්ට මෙම වසරේ මැයි මාසයේදී උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවත් මධුජිත් මහතා කීය.

උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වන සිසුන් සහ දෙමව්පියන් සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශිත පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *