අයහපත් කාලගුණය ජීවිත 11ක් බිලි ගනී

අයහපත් කාලගුණය ඔක්තෝම්බර් 27 සිට මේ දක්වා ජීවිත 11 ක් බිලිගෙන තිබෙනවා.

දිස්ත්‍රික් රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ලැබෙද්දි ගෙවුණු පැය 24 තුළ යාපනය දිස්ත්‍රික්කයට මිලිමීටර් 243 ඉක්මවූ වැසි ලැබී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් බදුල්ල, නුවරඑළිය , මාතලේ,  නුවර,  කොළඹ,  ත්‍රිකුණාමලය,  රත්නපුර,  කළුතර,  කෑගල්ල ඇතුලු දිස්ත්‍රික් 15 කට දැඩි බලපෑම් එල්ල වුණා. 8000 කට අධික පිරිසක් අවතැන්ව සිටින අතර ලක්ෂ දෙකකට පමණ පීඩා සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.  

රඹුක්කන දඹුල්ල වෑකඩ ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම යට වුණා. එම අවස්ථාවේ දී නිවස තුළ පුද්ගලයින් හතර දෙනෙකු සිට තිබෙනවා. ඔවුන් සියලු දෙනා පස් කන්දට යටවූ අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් යුද හමුදාවේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණා. එහිදී අවුරුදු 36 ක් වන මව අවුරුදු අටක් වන දියණිය සහ අවුරුදු 13 වයසැති ඥාති දියණියකගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ අතර බරපතළ තත්ත්වයේ පසුවූ  අවුරුදු 40 ක් වන පියා රඹුක්කන රෝහලට ඇතුළත් කෙරුණා.

අලව්ව වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ද කාන්තාවක මිය ගියා. එම අවස්ථාවේ මව දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර අනතුරෙන් මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි දියණියයි. ඇය පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ලෙස කටයුතු කළා.

මේ අතර ගෙවුණු පැය 24 තුළ මිලි මීටර් 243 ඉක්මවූ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. ත්‍රිකුණාමලයට මිලිමීටර් 186 ත්,  මන්නාරමට මිලිමීටර් 160 ක් සහ අනුරාධපුරයට මිලිමිටර් 154 ක් ඉක්මවූ වැසි ලැබී තිබෙනවා. මෙම දැඩි වර්ෂාපතනය හේතුවෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල පාසල් වසා තබන බව දිස්ත්‍රික් ලේකම්වරුන් නිවේදනය කළා.  උතුරේ පවුල් 4000 කට අයත් පුද්ගලයින් 12000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තලෙයිමන්නාරම පේසාලෙයි,  ශාන්තිපුරම්,  මරදන්කේනි ඇතුලු ප්‍රදේශ රැසක ජල ගැලීම් හේතුවෙන් බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනා.

ගංගා සියල්ලම පාහේ මේ වනවිට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.  මා ඔය පිටාර ගැලීමෙන් කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය නාල්ල ප්‍ර දේශය ජලයෙන් යටවීමත් සමග වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. මීරිගම,  අලව්ව,  දිවුලපිටිය,  පන්නල,  වෙන්නප්පුව ඇතුලු ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.

අත්තනගලු ඔයද පිටාර ගලමින් පවතින අතර ජල ගැලීම් අවම කිරීම සදහා අත්තනගලු ඔයේ අමුණු තිස් අටක් විවෘත කෙරුණා. ගම්පහ ගනේමුල්ල සහ ගම්පහ ඒකල මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.

සීතාවක ගගේ ජල මට්ටමද ශීඝ්‍ර යෙන් ඉහළ යාමත් සමග තල්දූව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.

රඹතලා ඔය පිටාර ගැලීමෙන් පුත්තලම නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව පවතිනවා.   පුත්තලම හලාවත මදුරන්කුලිය,  ආරච්චිකට්ටුව ඇතුලු මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

කුකුලේ ගග පිටාර ගැලීමත් සමග බුලත්සිංහල,  පරගොඩ, මෝල්කාව ඇතුලු ප්‍ර දේශ රැසක් ජලයෙන් යටව පවතින්නේ මෙලෙසින්.

පයාගල මලේගොඩ ප්‍රදේශයේ නිවාස 13 ක් ජලයෙන් යටවීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. දුම්මලමෝදර ඇල අවහිර වීමත් සමගයි මෙම ප්‍රදේශය ජල ගැලීමට ලක්ව ඇත්තේ.

ගිං ගග පිටාර ගැලීමත් සමග නාගොඩ,  බද්දේගම, අගලිය ඇතුලු ප්‍ර දේශ රැසක් ජලයෙන් යට වුණා. ගාල්ල අක්මීමන  තොටගොඩ කුරුන්ද ප්‍ර දේශයේ දී ජල පහරට හසුවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අනුරාධපුර නොච්චියාගම පහළ මාරගහ වැව සහ රදා වැව වැව් බැමි කැඩී යාම හේතුවෙන් ගොවි බිම් අක්කර 170 ක් පමණ ජලයෙන් යට වුණා. ප්‍රදේශයේ කුඩා වැව් රැසක් කැඩී යාමේ අවදානමක් පවතින බවයි වාරි මාර්ග අංශ සදහන් කරන්නේ.

ගිනිගත්හේන සදගිරි ගමට පිවිසෙන මාර්ගය නායයාමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වුණා.

මහනුවර අකුරණ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අකුරණ නගරය ජලයෙන් යටව පවතිනවා.  .

රත්නපුර අයගම මාර්ගයේ ගලතුර ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවර බෝට්ටු 15 ක සිටි ධීවරයින් 45 දෙනෙකු අද උදෑසන නැවත ගොඩබිමට පැමිණියා. අයහපත් කාලගුණයත් සමග ධීවර බෝට්ටුවල සිදුවූ කාර්මික දෝෂ හේතුවෙන් දින කිහිපයක් ඔවුන් මුහුදේ රැදි සිට තිබෙනවා.

අයහපත් කාලගුණය හමුවේ ඇති වන ආපදා තත්ත්වයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායම් යොමු කර සිටිනවා. ඒ අනුව නාවික හමුදාව කල්පිටිය පාලවිය ප්‍රදේශයේ ආපදාවට පත්ව සිටි පුද්ගලයින් 71 දෙනෙකු මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. විපතට පත් ජනතාවට සහන සැලසීම මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් යානා සහ බටපිරිස් ස්ථානගත කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. ආපදා තත්ත්වයන් පිළිබද ගුවනින් නිරීක්ෂණයන් නිරන්තරයෙන් සිදු කිරීමටයි ගුවන් හමුදාව පියවර ගෙන තිබෙන්නේ.

අධික වර්ෂාවත් සමග දෙලක්ෂ විසි දහසකට වැඩි පිරිසකට විදුලි බල පහසුකම් ඇණහිට ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසනවා. විදුලි සැපයීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම් ආරම්භ කර ඇති අතර නායයාම්,  ගස් කඩා වැටීම් හේතුවෙන් ඊට බාදා එල්ල වී ඇති බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය දිවයින ආසන්නයට පැමිණීමත් සමග මිලි මීටර් 150 ඉක්මවු ඉතා තද වැසි අද දවස පුරාත් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *